ත්‍රස්තවාදී , අන්තවාදී කි‍්‍රයා සිදුකරන, මූලධර්මවාදී වෛරී ප්‍රකාශ සිදු කරන කවුරුන් හෝ වේ නම් එක් ස්ථිර නීතියක් යටතේ මර්දනය කිරීම කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ පිළිබඳව කියා සිටියේ රට රකින - රට හදන ජාතික මග වැඩසටහන පිළිබඳව මහානාහිමිවරුන් දැනුවත් කර අනුශාසනා ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“කවුරුත් දන්නවා පසුගිය පාස්කු ඉරිදා සිදුවෙච්ච අන්තවාදී ප්‍රහාරය. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයට රටක් හැටියට, සමාජයක් හැටියට අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක ගැන පක්ෂ භේදයෙන් තොරව, වෘත්තීයවේදීන්, මන්ත්‍රීවරු, ආගමික නායකයින් එකතු වෙලා අපි ජාතික මග කියල ආයතනයක් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වූවා. එතනදී අපි කරුණු 7 ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. රටට ස්ථිර වශයෙන්ම මේ අන්තවාදය මැඩලා සාමකාමී සාමාජයක් ඇතිකර ගන්න.
ඒ වැඩපිළිවෙල අපි මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ටත්, අනුනායක ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවරුන්ටත් ලබාදී උන් වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීම තමයි අද දින සිදු කරනු ලැබුවේ.
මහානාහිමිවරු සෙසු සමාජය වගේම මෙම සිදුවීම් ගැන කම්පනයෙන් ඉන්නේ. ඉදිරියේදී අපට අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ දේශනා කළා උන් වහන්සේලාත් යම් නිශ්චිත යෝජනාවලියක් රජය ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවන බව. දැනටමත් මහානායක ස්වාමීන් වහන්සේලා සිව් නමම රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
හදිසි නීතිය අපට හැමදාම පවත්වාගෙන යන්න බැහැ. ස්ථිර නීතියක් යටතේ මේ ත්‍රස්තවාදී කි‍්‍රයා, අන්තවාදී කි‍්‍රයා වෛරී ප්‍රකාශ කරන කවරෙක් හෝ වේවා, මුස්ලිම් මූලධර්මවාදීන් වේවා, වෙනත් අය වේවා මර්දනය කිරීම සඳහා කටයුතු යොදා ගැනීම. ඒ වගේම වෙනම පාලනයක්, වෙනම සමාජයක් ඇතිකරගෙන යාම, විශේෂයෙන්ම මද්රසා පාසල්, ෂරියා විශ්ව විද්‍යාල, බුර්කා ඇඳුම් පැළඳුම්, අරාබි භාෂාවෙන් විවිධ නාමපුවරු පවත්වාගෙන යාම, වෙනම පාලනයක් පවත්වාගෙන යන තත්ත්වයන් වහාම නීතිමය වශයෙන් මැඩලීමට කටයුතු කිරීම.
ඒ වගේම අහිංසක නිරායුධ පුද්ගලයින්ගේ දේපළ විනාශ කිරීමට කටයුතු කරන පිරිස් දැඩිව ඍජුව මර්දනය කරලා සාමකාමී වාතාවරණයක් සමාජයේ ඇති කර ගැනීමට කටයුතු කිරීම. ඒ වගේම මේ සිද්ධියෙන් විශාල ආර්ථික ව්‍යසනයක් සිදුවුණා. ඒ ව්‍යසනයට පත් වූ පිරිස්වලට දැනටමත් රජයෙන් යම් යම් සහන දීලා තිබෙනවා. ඒ වගේම සමාජීය වශයෙන් අපි යෝජනා කළා ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ආරක්ෂක මණ්ඩලවලට යන්න ඕනේ කියලා.
අපිට සතුටුයි කියන්න දැන් ආරක්ෂක උපදේශක සභාවක් හදලා තිබෙනවා, ජනාධිපති, අගමැති, විපක්ෂනායක සහ කතානායකතුමා සිටින. එය අපි හොඳ දෙයක් විදිහට දකිනවා. මොකද මේකට පක්ෂ විපක්ෂ භේදයක් අවශ්‍ය නැහැ ඉදිරියට යන්න. දැන් අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි නීතිරීති ටික සකස් කර ගන්න පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම කැමැත්තෙන්" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
