තෙල් සැපයුම් නළයක් පුපුරා යෑම හේතුවෙන් සාගරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් තෙල් සංස්ථාවට එරෙහිව නඩු පැවරීමට තමන්ගේ සූදානමක් නොමැති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ අද (10දා) තෙල් විසිරුමින් හානියට පත් උස්වැටකෙයියාව වෙරළ තීරය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්නකි.
"ඇත්තටම අපි සහෝදර රාජ්‍ය ආයතන දෙකක්. කාගේ හරි වැරද්දක් තිබ්බාම නඩු කියන එක නෙවෙයි රටට ඕන පිළිතුරයි මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ. මුහුදු ජීවීන්ට හොඳ පරිසරයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. මොකද එය අපේ පැවැත්මටත් වැදගත් නිසා.
ඒ වගේම වෙරළ සංරක්ෂණය කිරීමත් වැදගත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා මිසක තවත් රාජ්‍ය ආයතනයකට එරෙහිව නීතිය සඳහා නීත්‍යානුකූලව කටයුතු කළත් අපිට එහෙම කරන්න අවශ්‍යතාවක් නැහැ. තෙල් සංස්ථාව දැක්කා නම් මෙය පිපිරී ඇති බව ඔවුන් ඒ මොහොතේම එය නවත්තනවා.
නමුත් මෙය මහ මුහුදේ සිදු වූ දෙයක් නිසයි පියවර ගැනීම ප්‍රමාද වෙලා තියන්නේ. නැතුව නොසැලකිලිමත්කම හෝ නොදැක්ක නිසා නෙවෙයි."
නඳුන් ශ්‍යාමාල්