ත්‍රස්තවාදය පරාජය කිරීමට කොන්ද පණ නැති,ඊට මුහුණදීමට හැකියාවක් නොමැති සියලු දෙනා ඉවත් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14දා) පැවසීය.
මේ රට නැවත ත්රස්තවාදයේ දඩබිමක් කිරීමට ඉඩ දිය නොහැකි බවත්,ජාතිවාදය ජය ගැනීම සඳහා උතුරටත් නැගෙනහිරටත්, දකුණටත්, බටහිරටත් එක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ත්‍රස්තවාදය ජයගැනීම සඳහා රටට අවශ්‍ය නිපුණතාව ඇති,පවුල් පාලනයෙන් තොර,කුසලතාවෙන් හා හැකියාවන්වලින් සපිරි සියලු දෙනාගේ පුළුල් එකමුතුවක් අවශ්‍ය බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඇඳිරිනීතිය නොමැති, ලේ වැගිරීම් නොමැති රටක් අනාගත දරුපරපුරට දායාද කිරීම සඳහා ජාතික මග මහජන ව්‍යාපාරය නිර්මාණය කළ බවද ඔහු කීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති ජාතික මඟ මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුව අමතමින් පාඨලී රණවක මහතා මේ බව පැවසීය.
අන්‍යාගමික මත දරන්නන් ඝාතනය කිරීමට බලාසිටින පුද්ගලයන් මර්දනය කළ යුතු බවත්,අන්‍ය ජාතිකයන්ගේ නිවාස හා දේපළ ගිනිබත් කරන පුද්ගලයන්ට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
දැනට රටතුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය මාස තුනක් ඇතුළත විසඳාගැනීම සඳහා දේශපාලනඥයන් ඇතුළු සියලු පාර්ශ්ව මැදිහත්වියයුතු බවත්,ඉදිරි මාස කිහිපය තුළ ත්‍රස්තවාදය විනාශ කර දැමීමටත්,සමාජය ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමටත් අධිෂ්ඨාන කරගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එෆ්.බී.අයි. සංවිධානයෙන් උපදෙස් ගැනීමට පෙර මැලේසියාව,බංග්ලාදේශය වැනි රටවල් ත්රස්තවාදීන්ට මුහුණ දුන්ආකාරය ගැන සොයා බැලිය යුතු බවත්,අපේ දරුවන් මේ රටින් පලාගොස් විදේශ රටවල පුරවැසියන්වීමට පෙර දෙපාමුලින් නැගීසිට අන්තවාදයට මුහුණදිය යුතු බවත් රණවක මහතා කියා සිටියේය.
රටතුළ පැතිර යන භීෂණයට සිංහල බෞද්ධයන් සම්බන්ධ බවට එල්ලවන චෝදනාව හෙළා දකිනවා - ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි
මෙහිදී අදහස් දැක්වූ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ මේ වනවිට රටතුළ පැතිර යන භීෂණයට සිංහල බෞද්ධයන් සම්බන්ධ බවට එල්ලවන චෝදනාව හෙළා දකින බවත්, අවිආයුධ අත්හැර බුද්ධිමත්ව ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතු බවත්ය.
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව වෙසක් සමයේදී බුද්ධිමත්ව කටයුතු කරන්නැයි බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.
දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට රජයේ වගකිවයුත්තන් අවශ්‍ය සියලු සහාය ලබාදිය යුතු බවත්,පරීක්ෂා කිරීම්වලට යනවිට කලින් දැනුම් දී යන ලෙසට පනවා ඇති නීතිය ඉවත් කළ යුතු බවත් එහිමියෝ ප්‍රකාශ කළහ.
ආරක්ෂක විධිවිධාන විහිළුවට ගන්නා අයට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටියහ.
රටේ සියලු ජනතාව ආරක්ෂා කිරීම රජුගේ මූලික වගකීමක් - පූජ්‍ය මාවරලේභද්දිය හිමි
මෙහිදී අදහස් දැක්වූ හබරකඩ ආර්ය නිකේතනයේ නිර්මාතෘ පූජ්‍ය මාවරලේභද්දිය හිමියන් සඳහන් කළේ රටේ සියලු ජනතාව ආරක්ෂා කිරීම රජුගේ මූලික වගකීමක් බවත්,රජුට එම වගකීමෙන් බැහැරව පලා යා නොහැකි බවත්ය.
අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලයට සහභාගි නොවීම දුර්වලකමක් බවත්, ජනාධිපතිවරයාගේ කතා පුංචි ළමයින් පවා විහිළුවට ගෙන තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.
වෙසක් සමයේදී මල් සුවඳ,හඳුන්කූරුසුවඳමිසලේගඳපැතිර නොයා යුතු බවත්,මහජනතාව සාමකාමී කිරීම සඳහා සියලු ධර්ම දේශනා යොදාගන්නා බවත් එහිමියෝ ප්‍රකාශ කළහ.
බුදුරාජාණන් වහන්සේගේ තෙමඟුල යෙදෙන වෙසක් මාසය කළු මැයි මාසයක් වනවාට බෞද්ධයන් අකමැති බවත්,මේ දිනවල රටපුරා සිදුවන භීෂණකාරී සිද්ධීන්වල සත්‍ය තත්ත්වය බෞද්ධයන්ගේ පිට නොදා හෙළි කළ යුතු බවත් උන්වහන්සේ පවසා සිටියහ.
මෙම අවස්ථාවට සර්වාගමික නායකයන්,කථානායක කරු ජයසූරිය,ගයන්ත කරුණාතිලක,මනෝ ගනේෂන්,රංජිත් මද්දුම බණ්ඩාර,දුමින්ද දිසානායක,මහින්ද අමරවීර,ෆයිසර් මුස්තාපා,පලනි දිගම්බරම්,එරාන් වික්‍රමරත්න,ආශු මාරසිංහ,පියසේන ගමගේ,මනුෂ නානායක්කාර,එම්.ඒ.සුමන්තිරන්,කරුණාරත්න පරණවිතාන,එස්.එම්.මරික්කාර්යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන්,කලාකරුවන්,වෘත්තීය සමිති නායකයන්,වෘත්තීයවේදීන්,සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක්එක්ව සිටියහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ