ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් ඇතිව ත්‍රිවිධ හමුදාව ගනු ලබන තීරණ සම්බන්ධව දේශපාලන වාසි අපේක්ෂාවෙන් යම් පිරිසක් විසින් සිදු කරන ප්‍රකාශ තමන් හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බියගම ප්‍රදේශයේදී අද (10දා) උදෑසන පැවැති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ සිට මෙම පිරිස ජාතික ආරක්ෂාව සම්බන්ධව සාවද්‍ය කරුණු සමාජගත කිරීමේ බොළඳ උත්සාහයක නිරත වන බවයි.
රජය සෑම විටම ජාතික ආරක්ෂාව ප්‍රමුඛතම හා සුවිශේෂී කරුණ ලෙස සලකා ආරක්ෂාව පිළිබඳ කරුණු සමාලෝචනය කරමින් පමණක් තීරණ ගනු ලබන බව සඳහන් කළ අමාත්‍යවරයා, 2015 ජනවාරි දේශපාලන පරිවර්තනය සිදුවූ දිනයේ සිට මේ දක්වා බලලෝභී සහ වෙනත් පටු අරමුණු ඇති පිරිස් විසින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු රටේ ආරක්ෂාව ගිලිහෙමින් ඇතැයි සාවද්‍ය කරුණු දිගින් දිගටම සමාජගත කිරීමට උත්සාහ කරමින් සිටින බව සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ සාවද්‍ය කරුණු සමාජගත කිරීමට ඔවුන් කොතෙක් උත්සාහ කළද, රටේ ජනතාව රජය සහ ත්‍රිවිධ හමුදාවන් සම්බන්ධව දැඩි විශ්වාසයකින් හා බැඳීමකින් කටයුතු කරමින් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජයේ අරමුණ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් සහජීවනය හා සංවර්ධනය ගොඩනැගීම බවද සඳහන් කළේය.
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මූල්‍ය උපායී වශයෙන් වැදගත් කඳවුරු සියල්ල ශක්තිමත් කිරීමට ත්‍රිවිධ හමුදාවන් කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සාමාන්‍ය ජනතාව වෙත ඉඩම් නිදහස් කිරීම සිදුකර ඇත්තේ ආරක්ෂක සමාලෝචනයකින් පසුව බව සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදාවන්හි යුද ශක්තිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය යුද අභ්‍යාස හා පුහුණු වැඩසටහන් සඳහා රජය පූර්ණ අනුග්‍රහය හා ප්‍රතිපාදන වැඩි වශයෙන් ලබා දෙමින් ඇතැයි පැවසූ අමාත්‍යවරයා, යුද, නාවික, ගුවන් හමුදාවන්හි සංග්‍රාමික ශක්තිය තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙන්ම නවක නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් එම තත්ත්වයට අනුගත කිරීම සඳහා ‘දියකාවා’ වැනි යුද අභ්‍යාස ඇතුළු වෙනත් යුද අභ්‍යාස මෙන්ම දෙස් විදෙස් පුහුණු වැඩසටහන් ත්‍රිවිධ හමුදාවන් අඛණ්ඩව සිදු කරන බව සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ තමන් මෙන්ම ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් එක්ව මනා අවබෝධයෙන් යුතුව ජාතික ආරක්ෂාව සම්බන්ධ අතිශය වැදගත් කරුණු කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.