ඇඹිලිපිටිය නව නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ 2016 වසරේ ජනවාරි 04 දින සාදයක් අතර පොලිස් නිලධාරින් එහි පැමිණීමෙන් පසු කලබලකාරී තත්ත්වය හමුවේ මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නැමැති විසිනව හැවිරිදි එක්දරු පියාගේ මරණය එවකට ඇඹිලිපිටිය පොලිසියේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී ඞී.ඩබ්. ධර්මරත්න මහතාට විරුද්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට නඩු පැවරිමට රහස් පොලීසිය අද 28 ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.වී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය හමුවේ අද මෙම නඩුව කැඳවු අවස්ථාවේ රහස් පොලීසිය නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනීසිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මේ බව අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධියට වසර හතර හමාරකට පමණ පසුව මෙසේ නඩු පැවරීමට කටයුතු කිරිම ද විශේෂයක් විය.
වර්ෂ 2016 ජනවාරි 04 දින රාත්‍රී ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ නිවසක පැවති සාදයට කඩා වැදුනු පොලිස් නිලධාරීන් අතර එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා විසින් සුමිත් ප්‍රසංග ජයවර්ධන (29) තරුණයා ඉහළ මාලයකින් පහලට තල්ලූකළ බවට සැකකරමින් මෙම නඩුව පැවැත්වෙයි.
එම සිද්ධියෙන් දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සුමිත් ප්‍රසංග මිය ගියේය.
මරණකරුවූ සුමිත් ප්‍රසංග මරණයට ලක්වන විට ඇගේ බිරිඳ දෙවන දරුවා ලැබීමට ආසන්නව සිටි බවත් දැන් ඒ දරුවාට අවුරුදු තුන හමාරක් බවත් නීතිඥවරයා පැවසීය. සිද්ධියවූ සාදය පැවති නිවස ඉදිරිපිට නිවසේ මරණකරු ජීවත් සිටියේ ඔහුගේ බිරිඳ සහ දරුවා සමගිනි.
එම වකවානුවේ මෙම සිදුවීම රටම ආන්දෝලනයට ලක් කළේය. සුමිත් ප්‍රසන්න ජයවර්ධන තරුණයාගේ සිරුර පවා නැවත ගොඩගෙන දෙවෙනි වරටද පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනු ලැබීය. ඇඹිලිපිටිය පොලීසිය සාධාරණ පරීක්ෂණයක් නොපවත්වන බවට මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරු පෙන්වා දීමෙන් පසු වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කරනු ලැබීය.
සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා 2016 පෙබරවාරි 02 දින හෝ ඊට ආසන්න දිනයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ්භාරයට පත් කෙරිණි. ඉන්පසු වැඩ තහනමට ද ලක්වූ ඔහු පසුව ඇපමත නිදහස් කර නැවත සේවයේ ද පිහිටුවා මේ වනවිට සේවය කරමින් සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි පරීක්ෂණ අවසන් කර වැඩිදුර උපදෙස් පතා නඩුගොනුව නීතිපතිවරයා වෙත යොමුකළ බව වසර කිහිපයක් තිස්සේ ම නඩුව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවල දැනුම් දුන්නේය.
ඒ අනුව සිද්ධිය වී වසර හතර හමාරකට පමණ පසු සැකකාර ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතාට විරුද්ධව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 වගන්තිය සමග කියවෙන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක සම්බන්ධයෙන් නඩු පැවරීමට උපදෙස් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණ සිටි පොලිස් කොස්තාපල් උදයංග සහ සැරයන් බණ්ඩාර යන මහත්වරු අතිරේක මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්හ.
එහිදි අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගෙන් අමතමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ලබා ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ කරුණු සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා ලැබි ඇද්ද යන්න විමසුවාය.
මෙම නඩුවිභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 46ක් නම්කර ඇති බවද රහස් පොලිස් නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව 1, 2, 3 සහ 4 වන සාක්කිකරුවන් මුලින් කැඳවීමට නොතීසි නිකුත්කරන්නැයි රහස් පොලීසිය අතිරේක විනිසුරුවරියගෙන් ඉල්ලා සිටියේය.
මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ විජිත ජී පුංචිහේවා මහතා එහිදි පැවසුවේ පැමිණිල්ලේ පළමුවන සාක්කිකරු වු සිද්ධිය වූ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ අයිතිකරු වූ පද්මසිරි මෙන්ඩිස් යන අය මේ වනවිට මියගොස් ඇති බවයි.
එසේනම් එය සනාථ කිරීමට මරණ සහතිකය අධිකරණය ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරිය එදින 1, 2, 3 සහ 4 වන සාක්කිරුවන්ට අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි නියෝග කරමින් වැඩිදුර විභාගය සැප්තැම්බර් 08 දිනට කල් තැබීය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර