ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
තෘප්තිමත් කාර්යක්ෂම සහ සතුටින් මහජන සේවාවේ නිරතවන පොලිස් සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක ය.
එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.
පොලිස් නිලධාරින්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දීමනාව ඉහළ නැංවීම, පොලිස් ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම යනාදී කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පොලිස් නිලධාරින්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත්, සෑම පොලිස් නිලධාරියෙක්ම පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කිරීම අත්‍යාවශ්‍ය බවත් ය.
නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, ඒ වෙනුවෙන් පොලිස් රෝහල ඉදිරිපිට ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම මුදල් ගෙවා පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.