නැනෝ නයිට්රජන් දියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කොට වගකිය යුත්තන්ට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබෙන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (22දා) වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සදහන් කළේය.
රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය විසින් තමාගේ නම සඳහන් කරමින් මෙම දියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී වංචාවක් සිදුව ඇති අතර ඊට තමා සම්බන්ද බවට පසුගියදා (19දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකර තිබෙන බවත් එය අසත්‍ය ප්‍රකාශයක් බවට වගකීමෙන් සඳහන් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඕනෑම සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයකට තමා මුහුණ දීමට සූදානම් බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා,
“ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සෞභාග්‍යයේ දැක්ම යටතේ රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු කිරීමේ ජාතික වැඩපිළිවෙළේ කොටසක් වශයෙන් නැනෝ නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කර දේශීය ගොවීන් වෙත පොහොර සහනාධාරය වෙනුවට නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව මෙම සභාව මේ වන විටත් දන්නා කරුණකි.
මෙම නැනෝ නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදා හැරීම සිදු කරනු ලබන්නේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන කොළම්බු කොමර්ෂල් පොහොර සමාගම මගිනි. එහිදී රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව මෙකී දියර පෙහොර ආනයනය කිරීම සිදු කොට ඇත. විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදුකොට ඇත්තේ කෘෂිකර්ම අධ්යක්ෂ ජනාරාල්වරයාගේ පූර්ණ අධීක්ෂණය හා නිර්දේශ සහිතවය.
ඒ වගේම මම කියන්න කැමතියි මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්වී තිබෙන චීන කාබනික පොහොර ගෙන්වීමේ ක්රියාවලියද සිදු කර ඇත්තේ මේ ආකාරයටම කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් වරයාගේ නිර්දේශය මත සිදුකරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආමත්‍ය මණ්ඩලය අනුමැතියට යොමු කිරීමෙන් අනතුරුව බව සඳහන් කරන්න කැමතියි.
රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා මෙම කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා කිසිදු දායකත්යක්, බලපෑමක් හෝ නියම් හෝ අනියම් ආකාරයේ කිසිදු ඇගිලි ගැසීමක් සිදු කර නොමැති බව මේ අවස්ථාවේදී ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.
මෙම නැනෝ නයිට්රජන් පොහොර ලංකාවට ආනයනය කළ යුනටිඩ් ෆාහර්ස් ට්‍රස්ට් සමාගමේ සභාපති වන මොහාන් පෙරේරා පසුගියදා පවත්වන ලද ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම නැනෝ නයිට්රජන් පොහොර ආනයනය සම්බන්ධයෙන් මා සමග කිසිදු සම්බන්ධතාවක් නොතිබූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද බව මා මෙම සභාවේ අවධානය යොමු කිරීමට කැමතියි.
ඒ අනුව පසුගිය 19 වැනිදා රෝහිණි කවිරත්න මහත්මිය විසින් මාගේ නම පෞද්ගලිකවම සඳහන් කරමින් මෙම දියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී වංචාවක් සිදුවී ඇති බවත් ඒ සඳහා මා සම්බන්ධ වී ඇති බවටත් ප්‍රකාර කරන ලදී. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී මා නොමැති අවස්ථාවකදී මා හිතවත් මන්ත්‍රීවරිය විසින් සිදු කරන මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ශේප කරනවා.
නැනෝ නයිට්රජන් දියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කොට වගකිය යුත්තන්ට නීතිමය කටයුතු නරන ලෙස මේ වනවිටත් අප රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඕනෑම සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත් මේ 09 වන පාර්ලිමේන්තුවට මා නවකයෙක් වුවද උපන්දා සිටම දේශපාලන පරිසරයක හැදී වැඩුණු මා හට මේ සියලු තනතුරු තානාන්තර වලට වඩා මෙතෙක් ආරක්ෂා කර ගත් හොඳ නම වටින බවත් මා මේ අවස්ථාවේදී අවධාරණයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.”
