කොවිඩ් 19 වෛරසය ‘චීන වෛරසය’ නමින් හඳුන්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් නිවේදනය සඳහා චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේ චීන වෛරසය හේතුවෙන් බලපෑමට පත්වූ ගුවන් සමාගම් ඇතුළු අනෙකුත් අංශ සඳහා එක්සත් ජනපදය සහාය දක්වන බවත් ඇමෙරිකාව පෙරටත් වඩා ශක්තිමත් වන බවත්ය.
කෙසේ වෙතත් මේ පිළිබඳව චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. චීන විදේශ කටයුතු අමාත්‍යෘංශයේ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ශුවාන්ග් අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ ඇතැම් දේශපාලඥයින් කොවිඩ් වෛරසය චීනයට සම්බන්ධ කිරීමට උත්සාහ ගනිමින් සිටින බවයි.
චීනය මේ පිළිබඳව දැඩි විරෝධය පළ කරන බවත් චීනය සම්බන්ධ කරමින් සටන් කිරීම නවතා දමන ලෙසට ඇමෙරිකාවට සඳහන් කරන බවත් ඔහු පැවැසීය.
“චීනයට ඇඟිල්ල දිගු කිරීම නවත්වන ලෙස අපි එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටිනවා. වඩාත්ම ප්‍රමුඛතාවය වන්නේ වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහයෝගයෙන් කටයුතු කිරීමයි. එක්සත් ජනපදය එහි ප්‍රමුඛතාවය කෙරෙහි අවධානය යොමු කර ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ඵලදායී කාර්යභාරයක් ඉටු කළ යුතුයි” යැයි ප්‍රකාශකවරයා සඳහන් කළේය.