ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් වැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධව පරීක්ෂණ දෙකක් සිදුකරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ අනුව විශ්වවිද්‍යාලයේ උපකුලපති, විනය පරීක්ෂක ආදී වශයෙන් විශ්වවිද්‍යාලය තුළ අභ්‍යන්තර පරීක්ෂණයක් හා සිසුවාගේ දෙමාපියන් සහ ඥාතීන් විසින් මිරිහාන පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය මඟින් සිදු කෙරෙන පරීක්ෂණයක් වශයෙන් මෙම පරීක්ෂණ දෙක සිදුකරන බව අමාත්‍යවරයා පවැසීය.
අද (10දා) මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මේක නවක වදය නිසා සිදු වුණු එකක් ද නොඑසේ නම් වෙනත් සිදුවීමක් නිසා වුණු දෙයක් ද කියලා පරීක්ෂණ අවසානයේ තමයි කියන්නට වෙන්නේ. කොහොම වුණත් මෙවන් තත්ත්වයන් ඇති නොවන පරිදි කටයුතු කිරීම තමයි ශිෂ්‍යයන්ගේ වගකීම වෙන්නේ.
විශ්වවිද්‍යාල අභ්‍යන්තර කටයුතු සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිව මතයක සිටිනවා. එහෙම අභ්‍යන්තර මැදිහත්වීමක් කිසිසේත් සිදු නොකරන බව පසුගිය කාලය තුළ අපි පෙන්නුවා
පසුගිය වසරවල 2000කට වැඩි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් වාර්ෂික ව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වෙලා විශ්වවිද්‍යාල දාලා ගිහින්. මේක බරපතල තත්ත්වයක්.”