නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය ඉතාමත් තදින් පැතිරී යමින් පවතින බැවින් ජනවාරි මස අවසන්වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොපැමිණෙන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවැසු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතම මෙසේද කීය.
බැතිමතුන්ට මෙවර ශ්‍රී පාද වන්දනා කිරීමට අන්වාරවල මෙන් රිසි සේ එන්න බැරි වේවී. යම්යම් සීමාවන්ට යටත්ව තමයි මෙවර ශ්‍රී පාදය වන්දනා කිරීමට බැතිමතුන්ට සිදුව ඇත්තේ. දැනට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වසංගතය ඉතාමත් තදින් පැතිරී යමින් පවතිනවා. මේවනවිට රෝගීන් 400 කට වඩා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. කණ්ඩායම් එක දිගට රැස්වුවහොත් කොවිඩ් පැතිරීයාමට ඉන් ඉඩකඩක් නිර්මාණයවීමේ හැකියාවක් පවතිනවා.
සෞඛ්‍ය අංශ සමඟ අපි දීර්ඝ වශයෙන් සාකච්ජා කරලා අපි දැනට තීරණයක් ගෙන තිබෙනවා ජනවාරි මස අවසන්වනතුරු ශ්‍රී පාදය වන්දනා මාන කරන්න එන්න එපා කියන ඉල්ලීම කරන්න බැතිමතුන්ගෙන් ඉල්ලන්න. ඒකෙන් අදහස් වන්නේ නැහැ ශ්‍රි පාදස්ථානය දැනට වසා දමා ඇති බව. අපි කියන්නේ රටේ දැනට ඇති තත්ත්වය සැළැකිල්ලට ගෙන ජනවාරි මාසයේදී වන්දනා මාන කරන්න බැතිමතුන් කටයුතු සංවිධානය කර ගන්න එපා කියලයි.
රටේ තත්ත්වය යම් මට්ටමකට යහපත් වුවහොත් පෙබරවාරි මාසයේ සිට කිසියම් සීමාවන්ට යටත් කොට සෞඛ්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව වන්දනා කිරීමේ ඉඩකඩ සලසන්න පියවර ගන්නවා. මේ තීරණ අප තනියෙන් ගන්න තීරණ නොවෙයි. නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව හා මධ්‍යම පළාත් කොවිඩ් මර්දන කමිටුව ඒකරාශි වී ගන්නා තීරණ යයිද පැවැසීය.
ශාන් හුලංනුගේ