- ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරි ගමනට ඍජුව දායක වෙනවා....
- සංවර්ධන ව්‍යාපෘතීන් වලින් ප්රතිලාභ ලබාගැනීමට නම් ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක්වත් නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතුයි........
- බස්නාහිර පළාතේ ජල මූලාශ්‍ර රැකගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා...
ජාතික ආර්ථිකය ගොඩනැගීමට නිෂ්පාදන හා සේවා අපනයනය , ඍජු විදේශ ආයෝජන හා සංචාරක කර්මාන්තය මූලික වන බවත් ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරිගමනට ඍජුව දායක වන බවත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ කොළඹ, අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත් රැස්වීමට සහභාගි වෙමිනි.
අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතීන් වලින් ප්රතිලාභ ලබාගැනීමට නම් ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
2021 අයවැය යෝජනා “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
"කොවිඩ් 19 වසංගතය නිසා ගොඩක් අය හිතාගෙන හිටියා අපි ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටෙයි කියලා නමුත් අපිට හැකි වුණා අපි ලබාගත් ණය කිසිදු හිඟයක් තියාගෙන්නේ නැතුව ගෙවන්න. අපනයන තුළින් ලැබෙන ආදායම පහත වැටුණත් සැප්තැම්බර් වනවිට නැවතත් අපනයන ආදායම වැඩි කරගන්න අපට පුළුවන් වුණා.
එම මාසයේ දී ඩොලර් බිලියනයට වඩා අපනයන ආදායමක් ලබාගන්න පුළුවන් වුණා. අපනයනය වැඩිකිරීම තුළින් තමයි අපේ සියලු අවශ්‍යතා ඉටුකර ගන්න පුළුවන් වෙන්නේ. මේ තතත්වය තුළ තමයි අපි 2021 අයවැය ඉදිරිපත් කළේ.
ග්‍රාමීය සංවර්ධන ප්‍රමුඛතා සියල්ල මෙවර අයවැයේ දී හදුනාගෙන තිබෙනවා. හැම ග්‍රාම සේවා වසමකට පෙර පාසලක්, මාතෘ සායනයක් ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. නව ලොවට ගැලපෙන ලෙස අධ්‍යාපනය වෙනස් කරමින් ගමේ පාසල්වල යටිතල පහසුකම් වර්ධනය වෙනුවෙනුත් අපි මුදල් වෙන්කර තිබෙනවා. ඒ අනුව එක් වසමකට ප්‍රමිතියෙන් යුතු පෙර පාසලක් ඇති කරන්න අපිට පුළුවන් වෙනවා.
පාසල්වල විෂය පථය සම්බන්ධයෙන් ජාතික මට්ටමින් කටයුතු කරන්නත් රජය විසින් වැඩපිළිවෙලක් ගෙන යනවා. ජලය, සනීපාරක්ෂක කටයුතු ආදිය සම්පූර්ණ කරන්න මුදල් වෙන්කර තිබෙනවා. ඒ වගේම පාසැල් මූලික කරගත් සෞඛ්‍ය කමිටුවක් පත් කරන්නත් අවධානට යොමු වෙලා තිබෙනවා.
ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඇති කරන්න ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් ගෙන යනවා. ලබන වසර වන විට තුළ ලංකාවේ සියලු දෙනාටම නිවෙසේ සිට භාවිතා කිරීමට අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ග්‍රාමීය මාර්ග සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කර තිබෙනවා. මාර්ග සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ විශාල වෙනසක් වුණා. මෙවරත් කිලෝමීටර් 100,000 ක් සංවර්ධනය කරගෙන යනවා.
මේ ව්‍යාපෘතීන් සියල්ල ක්‍රියාත්මක කරනවිට පරිසරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. පරිසර හිතකාමී සංවර්ධනයක් ඉටුකිරීම අයවැය යෝජනාවල මූලික වෙලා තිබෙනවා. නාගරික පරිසරය තුළ නාගරික වනෝද්‍යාන ඇති කරන්නත් පියවර ගෙන තිබෙනවා. ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන්කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ අමාත්‍යාංශ කිහිපයක් ගොඩනඟා තිබෙනවා. මේ අයවැයේ මූලිකම අවස්ථාව මේ අයට පුළුවන් ගමේ යෝජනා අනුව අලුත් යෝජනා ඉදිරිපත් කරන්න.
බස්නාහිර පළාත කියන්නේ ප්‍රධානම පළාතක්. රටේ ආර්ථිකයත් ඉදිරි ගමනත් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාතෙන්. ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු වෙනවා. අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් එවිට. ඒකාබද්ධ වැඩපිළිවෙලක් යනවා බස්නාහිර පළාතේ ජල මූලාශ්‍ර රැක ගැනීම සඳහා. ඒ වෙනුවෙන් ආරක්ෂක වන වගාවන් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා.
බස්නාහිර පළාත අකර්මන්‍ය වුණොත් මුළු රටටම බලපානවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ මැනිං එළවළු වෙළඳපොල වැහුවම ඒක මුළු රටටම බලපෑවා. ආයෝජන අවස්ථා පවා ලැබෙන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙනයි. ඒ නිසා බස්නාහිර පළාත තුළ මේ අයවැය යෝජනා සාර්ථකව ක්‍රියාත්මක කළ යුතුයි."