ජනබලය කොළඹට උද්ඝෝෂණය පවත්වන ස්ථාන කිහිපයක් සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හමුවී අද (03දා) දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද(03දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.
හෙට (04දා) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එම ස්ථාන සම්බන්ධව තීරණයක් ගෙන තමන්ට දැනුම්දෙනු ඇති බවත්, එම තීරණය ලැබී පැයක් ඇතුළතදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම් මට්මේ නායකයන්ට දැනුම් දෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයෙ පක්ෂ වශයෙන් වෙන් වෙන්ව පාගමනින් නොඑන බවත්, සියලු දෙනා එක්ව උද්ඝෝෂණයට සහභාගි වන බවත් පැවසූ ඒ මහතා කිසිදු රාජ්‍ය දේපොළකට හානි නොකරන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.