ජනපති කි සහන පැකේජය විස්තරාත්මකව මෙන්න
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන සහන පැකේජය පිළිබඳව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුව්දී දීරඝ පැහැදිලි කිරීමක් කළේය. මේ ඒම පැහැදිලි කිරිමයි.
"හදිසි ආපදා තත්ත්වය පහව යාමත් සමග ආපදාවට ලක් වූ පවුලවලට තම නිවස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000 ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. සියලුදෙනාට මෙම දීමනාව හිමියි. හැබැයි මම දන්නවා මෙහිදී දුෂ්කරතාවක් තිබෙනවා. ග්‍රාම සේවා නිලධාරින් ඇතුළු නිලධාරින් විසින් මෙය තීරණය කරනවා. දේශපාලකයා මෙය බෙදන කෙනා හෝ තීරණය කරන කෙනා නෙවෙයි, හැබැයි යම් කෙනෙකුට ආසාධාරණයක් වී තිබෙනවා නම් ලැබිය යුතු කෙනෙකුට ලැබී නැතිව තිබෙනවා නම් දේශපාලන අධිකාරිය ඒ ගැන සොයා බලනවා. ඒක තමයි විධිමත් ක්‍රමය. දේශපාලන කමිටුවලින් අත්සන් ගන්නවා වැනි ප්‍රකාශ බොරු ප්‍රචාර. අපි පැහැදිළිව රාජ්‍ය යාන්ත්‍රණය මගින් මේ සඳහා විධිමත් ක්‍රමයක් සකස් කර තිබෙනවා.
විවිධත්වයන් ගොඩක් තිබෙන බැවින් මෙම තෝරා ගැනීමේදී යම් ප්‍රමාදයක් තිබෙනවා. එය ස්වභාවිකයි. මෙය අපි කවුරුත් දන්නා සත්‍යයක්. කිසිදු බෙදීමකින් තොරව මෙම දීමනාව අපි ලබා දෙනවා. දැනට වාර්තා වී ඇති ප්‍රමාණය අනුව 65%කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල 90% සහ 100% ලබා දුන් ස්ථාන තිබෙනවා.
ඒ වගේම තවත් 50,000ක දීමනාවක් ලබා දෙනවා. නිවාස කැඩි තිබෙනවා නම්, ගෘහ භාණ්ඩවලට හානි වී තිබෙනවා නම් ඒ අයට මුළුතැන්ගෙයි උපකරණ ටික ලබා ගැනීම වෙනුවෙන් හැම පවුලකටම එම දීමනාව ලබා දෙනවා. කිසිදු ආණ්ඩුවක් මෙවැනි අන්දමින් කටයුතු කර නැහැ. ප්‍රතිපත්තිමය මූලධර්මයක් මත තමයි අපි මෙය ලබා දෙන්නේ.
දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6228ක් තිබෙනවා, අර්ධ වශයෙන් හානි වූ NBRO අවසර ලබා නොදෙන නිවාස 4543ක් තිබෙනවා. හානි නොමැති නමුත් NBRO අවසර නොදෙන නිවාස 6877ක් තිබෙනවා. එසේ ගත් විට මුළු නිවාස 17, 648ක් තිබෙනවා. අපි පළමු කොටම මේ 17,648ට ජනවාරි මාසයේ සිට රුපියල් 50,000ක දීමනාවක් ලබා දෙනවා මාස 03ක් දක්වා.
ඒ වගේම අපි දන්නවා අවතැන් කඳවුරක ජීවිත මොනතරම් අසීරුද කියලා. ඒ නිසා අපේ අපේක්ෂාව වන්නේ මොවුන් ඉතා ඉක්මණින් එම ස්ථානවලින් ඉවත් කර මා පෙර පැවසු ඛාණ්ඩ 03 අනුව රුපියල් 25,000ක නිවාස කුලියක් දෙනවා ගෙදරට යන්න. ඥාති ගෙදරක ඉන්නවා නම් ඒත් 25,000 ලබා දෙනවා.
ඒ අනුව වී, බඩඉරිගු, රට කජු සහ ධාන්‍ය වර්ග වගා කර තිබෙනවා නම් හෙක්ටයාරයකට 150,000ක දීමනාවක් ලබා දීමට අපි තීරණය කළා. හානියේ ප්‍රමාණය අඩු වුණත් මොවුන්ට නැවත නැගිටීමට අපි ධෛර්ය ලබා දිය යුතුයි. වගා භූමිය අහිමි වූ විට එම පුද්ගලයාට ඇතිවන වේදනාව අපි දන්නවා.
සාමාන්‍යයෙන් ගොවියෙක් වගා කළ විට හැමදාම උදේට කුඹුරට ගොස් නීල ගොයම දෙස බලනවා. සතුටු වෙනවා. එවැනි ගොයමක් බිද වැටුණු විට ඇතිවන මානසික පීඩනය අපි දන්නවා. පොහොර සහනාධාරය ලබා ගත් සෑම ගොවියෙකුටම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ලබන සතිය වන විට අදාළ මුදල් බැංකු ගිණුම් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම මිරිස්, ලූනු, ගස් ලබු සහ කෙසෙල් වගා කළ අය එළවලු කණ්ඩායමට ඇතුළත් කර හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. අපනයන කෘෂිකර්මාන්තය පැත්තෙන් යෝජනා ගණනාවක් ආවා. ඒ අනුව ගම්මිරිස්, එනසාල්, කෝපි යන වගාවන්ට වන්දි ලබා දීමට තීරණය කර තිබෙනවා. ඊට අවශ්‍ය කරන දත්ත සියල්ලම ලබා දී තිබෙනවා. එම දත්තවලට අනුව ගම්මිරිස් පැළයකට රුපියල් 250 බැගින් ගෙවන්න තින්දු කර තිබෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නව පැළ ලබා දීමටත් එකඟතාව පළ කර තිබෙනවා.
සත්ත්ව පාලන ප්රශ්නය ඊළඟට අප මුහුණ දුන් විශාලතම ප්‍රශ්නයක්. කුඹුරකට නම් හෙක්ටයාරයක් කියා මිම්මක් තිබෙනවා. එළවළු වගාවකට නම් අක්කරයක් කියා මිම්මක් තිබෙනවා. නමුත් සත්ත්ව පාලනයට එහෙම මිම්මක් නැහැ. සතුන් කොපමණ සිටිනවාද? සතුන් වර්ග විශාල ප්‍රමාණයක් සිටිනවා. එකම වර්ගයේ සතෙක් වුවත්, ලොකු, පොඩි වශයෙන් සතුන් සිටිනවා. එනිසා විවිධත්වයක් තිබෙනවා.
එසේනම්, අපි මේ විවිධත්වයට සාධාරණය ඉටු කරන්නේ කොහොමද? ඒ වගේම පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි නොමැති සත්ත්ව පාලනය ගැන අප වෙනම සිතන්න අවශ්‍යයි. පළමු පියවර වශයෙනස් ලියාපදිංචි ඒවාට අපි සැලසුම් සකස් කර තිබෙනවා. එහිදී දෙමුහුන් ගවයෙක් නැති වුවහොත් ලක්ෂ දෙකක ආධාරයක් ලබා දෙනවා. උපරිම ගවයන් 10ක් දක්වා රුපියල් ලක්ෂ 20ක ආධාරයක් ලබා දෙනවා. දෙමුහුන් නොවන දේශීය ගවයෙක් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ආධාර ලබා දෙනවා. උපරිම ගවයන් 20ක් දක්වා රුපියල් ලක්ෂ 10ක ආධාරයක් ලබා දෙනවා.
සත්ත්ව පාලනයේ යෙදෙන සෑම ගොවියෙකුගේ ප්‍රධාන අභිප්‍රාය බවට පත්විය යුත්තේ පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි විමයි. අඩුම තරමින් මාස 6න් 6ට තමන් සතුව සිටින සතුන්ගේ ප්‍රමාණය වාර්තා කළ යුතුයි.
ලියාපදිංචි නොකරන ගොවිපළකට පශු වෛද්‍ය සේවාව ලබා දෙනවා නම් යම් මුදලක් අයකරගත යුතුයි. මින් ඉදිරියට සේවාවන් නොමිලේ ලබා දෙන්න බැහැ. ලියාපදිංචි නොවූ ගොවියන්ට පළාතෙන් පළාතට ගවයන් ප්‍රවාහනය කරන්න දෙන්නේ නැහැ. එනිසා ලියාපදිංචි වීම අත්‍යවශ්‍යයි. නමුත් සූකර, එළු සහ බැටළු කියන සත්ත්ව වර්ග තුනෙන් එක සතෙක් අහිමිව තිබෙනවා නම් රුපියල් 20,000ක් උපරිම සතුන් 20ක් සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යළි සත්ත්ව පාලනය නඟාසිටුවීමට එවැනි සැලසුම් අප සකස් කර තිබෙනවා.
ඊළඟට කුකුළු පාලනයේදී එක එක ප්රබේදයන් ගණනාවක් තිබෙනවා. මිය ගිය එක් ලේයර් සතෙක් සඳහා රුපියල් 500 බැගින් සතුන් 2000ක් දක්වා ආධාර ලබා දෙනවා. එවිට සතුන් 2000ක් අහිමිව ගියා නම් රුපියල් මිලියනයක් ලැබෙනවා. බ්‍රොයිලර් සතෙකුට රුපියල් 250 බැගින් උපරිම සතුන් 4000ක් දක්වා ආධාර ලබා දෙනවා. ගොවීන් දිරි ගැන්වීම අරමුණු කරගෙන සතුන් ලබා දුන් ගෙවතු කුකුල් ගොවිපළවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන්ටත් අප රුපියල් 10,000ක ආධාරයක් ලබා දීමට තීන්දු කර තිබෙනවා. නැවත පළාත් සභාවෙන් පැටවුන් නොමිලේ ලබා ගන්නත් පුළුවන්.
ධීවර කර්මාන්තයේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන අයට බෝට්ටු රක්ෂණය කරන්නේ නැතිව කර්මාන්තයේ යෙදෙන්න බැහැ. ධීවර අමාත්‍යාංශයෙන් මත්ස්‍යයන් ඇල්ලීමට බලපත්‍ර ලබා දෙන්නේ ඔවුන්ගේ බෝට්ටු රක්ෂණය කර තිබුණොත් පමණයි. මුහුදේ මත්ස්‍යයන් අල්ලන සෑම දෙනාටම රක්ෂණයක් තිබෙනවා. රක්ෂණයෙන් වන්දි මුදලක් ලැබුණත් අලුතින් බෝට්ටුවක් ලබා ගන්න එම රක්ෂණ මුදල ප්‍රමාණවත් නැහැ. රක්ෂණයෙන් ලැබෙන මුදල සීනෝර් ආයතනයට ලබා දෙන්නත්, සීනෝර් ආයතනයෙන් අලුත් බෝට්ටුවක් ලබා දීමට අප තීන්දුවක් ගත්තා.
දැල් ආම්පන්න වෙනුවෙන් රුපියල් ලක්ෂයක වවුචරයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ වවුචරය සීනෝර් ආයතනයට ලබා දීමෙන් පසු දැල් ආම්පන්න ලබා ගන්න පුළුවන්. නැවත ධීවර කර්මාන්තය දියුණු කරන්න අපිට අවශ්‍යයි. ඒ වගේම පොඩි පොඩි හානි වී තිබෙන බෝට්ටු සීනෝර් ආයතනයෙන් නොමිලේ අලුත්වැඩියා කර යළි ලබා දෙනවා.
ඒ වගේම මිරිදිය කර්මාන්තයේ යෙදෙන ඔරුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් මෙන්ම, ධීවර සමිතිය හරහා උපරිම දැල් පහක් දක්වා එක දැලකට රුපියල් 15,000 බැගින් රුපියල් 75,000ක් ලබා දෙනවා. සමහර වැව්වල පැටවුන් සියයට 35%ක් පමණ ගසාගෙන ගොස් තිබෙනවා. සමහර වැව්වල සියල්ලම ගසා ගෙන ගොස් තිබෙනවා. හානියට පත්ව තිබෙන ජලාශවලට ධීවර අමාත්‍යාංශයෙන් අවස්ථා දෙකකදී පැටවුන් ලබා දෙනවා.
ආපදාවට පත්වූ පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000ක් සහ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 15,000ක් ලබා දෙනවා. අලුත් පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් සිසුන්ට මේ දීමනාව ලබා දීමට අපි උපරිම උත්සාහ කරනවා.
ආපදාවෙන් හානි වූ ව්‍යාපාරික ස්ථානවලට කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙන්න කියලා අවස්ථාවක් ලබා දුන්නා, ඒ අනුව තනි ව්‍යාපාර, ක්ෂ්ද්‍ර ව්‍යාපාර සහ සුළු ව්‍යාපාර වශයෙන් 9600ක් ලියා පදිංචි වී තිබෙනවා. එම කර්මාන්තවලට යළි පණ දීමට මේ ව්‍යාපාර ස්ථාන 9600ටම රුපියල් ලක්ෂ 2ක බැගින් ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා.
ව්‍යාපාරික ගොඩනැගිවලටද විශාල හානියක් සිදුව තිබෙනවා. අර්ධ හානියට පත් ව්‍යාපාරික ස්ථානයකට ආරම්භයක් වශයෙන් රුපියල් ලක්ෂ 5ක් ලබා දෙනවා. ඒක ප්‍රමාණවත් නොවන්නේ නම් තක්සේරු කර උපරිම ලක්ෂ 50ක් දක්වා ලබා දෙනවා.
තමන්ට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 5 වැඩි නම්, රුපියල් ලක්ෂ 5 ආධාර මුදල අරගෙන තක්සේරු කරන්න බැහැ. ඊළඟට කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවුණු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වෙළෙඳ බලපත්‍ර ලබා ගත් සුළු ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. නමුත් දත්ත තවම එකතු වී නැහැ. එනිසා දත්ත එකතු නොවී අපට තවම තීරණයක් ගන්න බැහැ.
නමුත් කඩේ භාණ්ඩ සියල්ල විනාශ වුණා නම් යළි ව්‍යාපාරය ආරම්භ කරන්න නම් ආණ්ඩුව ආධාර කරන්න අවශ්‍යයි. ඒකට දත්ත නොමැති නිසා දිස්ත්‍රික් ලේකම්වරු හරහා ප්‍රාදේශීය වශයෙන් තිබෙන ව්‍යාපාර ස්ථාන සම්බන්ධව වාර්තාවක් ලබා ගෙන දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඉස්සන් වගාව වැනි මිල අධික මහා පරිමාණ ව්‍යාපාර වලට සහනශීලී ණයක් ලබා දීමට අප තීන්දු කර තිබෙනවා.
කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලක්ෂ දෙක හමාරේ සිට ලක්ෂ 10ක් දක්වාත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට උපරිම ලක්ෂ 250ක් දක්වාත් ණය ලබා දෙනවා. ණය ලබා දීමේදී ආණ්ඩුව පොළියක් අය කරගන්නේ නැහැ. අපි බැංකුවලට මුදල් ලබා දෙනවා, බැංකු හරහා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී පරිපාලන යම් වියදමක් යනවා. ඒ වියදමට සරිලන කුඩා පොළියක් බැංකුව අය කරයි. ණය මුදල් ලබා ගැනීමෙන් අනතුරුව නැවත ණය මුදල ගෙවීම සිදුකළ යුත්තේ මාස හයකින් පසුවයි.
අපේ අරමුණ මේ ව්‍යසනයට පත්වූ අයගේ ජනජීවිතය යළි ගොඩනැඟීමයි. ඔවුන්ගේ ජීවිත අපට අත්හරින්න බැහැ. අපේ අභිප්‍රාය අනවසර ඉදිකිරීම් කියන එක ඉවත් කිරීමයි. අපට මේ ආධාර ලබාදීමට යම් කාල රාමුවක් අවශ්‍යයි. මේක අද සම්මත වුණාට සඳුදා ගිහින් සල්ලි ගැන අහන්න එපා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මේ ක්‍රියාදාමයන් සිදු වෙනවා. ඇත්ත ප්‍රශ්න විසදන්න යම් ක්‍රම තිබෙනවා. ඇත්ත වශයෙන් මේ සියල්ල පුරවැසියන්ට ලබා දීමට නම් විපක්ෂයේද සහාය අවශ්‍යයි. පුරවැසියන්ට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකක් ගිහින් ගෙයින් ගෙට යන්න. දැනට ආපදා කළමනාකරණ කමිටු රැස්වීමට යන්න.
මේක අපි පියවරෙන් පියවර ආරම්භ කරනවා. පෙර සඳහන් කළ පරිදි නාය යෑමට භාජනය වු කලාපවල පවුල් 17648කටම මේ රුපියල් ලක්ෂ 50ක දීමනාව අපි ලබා දෙනවා. මේ සියල්ලම අවදානම් කලාපවලින් ඉවතට ගන්නවා. 2027 වන විට අධි අවදානම් කලාපවල කිසිදු පවුලකට ජීවත් වීමට නොහැකි වන පරිදි නීති සම්පාදනය කරනවා.
ඒ වගේම පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගත් විට, කුරුණෑගල වගේ ප්‍රදේශවල පදිංචි වීමට සුදුසු ඉඩම් තිබෙන අයට රුපියල් ලක්ෂ 50 ලබා දෙනවා. නිවාස ඉදි කරදීමට රජයේ ඉඩම් අත්පත් කර ගන්නා ලෙසට අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අපි රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ මේ ජනතාවගේ ජනජීවිතය යළි ගොඩනැඟීමටයි."

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

