ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය කඩිනම් කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තාක්ෂණ හා ඉංජිනේරු විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ගැඹුරුව අධ්‍යනය කරන බව ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියේචි මහතා පැවැසූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
චීන ඉහළ පෙළේ දූත පිරිසගේ ශ්‍රී ලංකා සංචාරය තුළදි චීනය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන හා පුහුණු සහයෝගීතාව පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වූ බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
පශ්චාත් COVID යුගයේ ද්විපාර්ශ්වික සබඳතා තුළදී ඉහළම ක්ෂේත්රයක් ලෙස දෙපාර්ශ්වයම අධ්‍යාපනය හා පුහුණු සහයෝගීතාවයට ප්‍රමුඛත්වය දුන් බවත් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද එක්වු බව තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ද්විපාර්ශ්වික අධ්‍යාපන හුවමාරුව සඳහා රාමුවක් සැකසීම සඳහා රජයන් දෙක අධ්‍යාපන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සඳහා හැකි ඉක්මනින් සාකච්ඡා ආරම්භ කළ හැකි බව යැං මහතා මෙහිදි යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ චීන ඉගෙනීම සඳහා ඇති විශාල ඉල්ලුම සැලකිල්ලට ගනිමින් චීනය ජාත්‍යන්තර චීන භාෂා ගුරුවරුන්ට ශිෂ්‍යත්ව ලබා දීමෙන්, චීන භාෂා මධ්‍යස්ථාන ඒකාබද්ධව ආරම්භ කිරීමෙන් සහ භාෂා ඉගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව පුළුල් කිරීමට සූදානම් බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
දෙරට අතර ද්විපාර්ශ්වික පුහුණු සහයෝගීතාවයට චීනය විශාල වැදගත්කමක් ලබා දෙන බව ද චීන ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය. පසුගිය වසර පහ තුළ චීනයේ සියලුම ආකාරයේ පුහුණු වැඩසටහන් සඳහා ක්‍රියාකාරීව සහභාගී වන ලෙස ශ්‍රී ලාංකික සිවිල් සේවකයින් සහ කාර්මික ශිල්පීන් 7,000 කට වැඩි පිරිසකට ආරාධනා කර ඇති බවත් COVID-19 වසංගතය තිබියදීත්, චීනය සිය විදේශ ආධාර වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවට මාර්ගගත හෝ නොබැඳි පුහුණු අවස්ථා ලබා දෙනු ඇති බවත් තානාපති කාර්යාලය නිවේදන කරයි.
මෙම සංචාරයට පෙර චීන තානාපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු තාක්ෂණය සමඟ දුරස්ථ අධ්‍යාපනයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ගවේෂණය කර ඇති අතර දේශීය තරුණ තරුණියන්ට ප්‍රායෝගික වෘත්තීය පුහුණුව සහ වෘත්තීය උපදේශනය ලබා දීම සඳහා චීන ව්‍යවසායන් දිරිමත් කර ඇති බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.