වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට හිමිවූ ජනවරම භාරකාර ආණ්ඩුවකට කිසිවිටක පාවා නොදෙනු ඇතැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. අනුරාධපුර පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරයේ සිට සිතුවේ පක්ෂයට වඩා රට ගැනයි. එදා රට තුළ සිදු වූ විනාශකාරී වැඩපිළිවෙළ,හිංසනය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ රාජ්‍ය භීෂණය එතුමන් දුටුවා. මේ සියල්ල අවබෝධ කරගෙන රටට ඇති කැක්කුම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයා ලෙස භයංකාර අභියෝගයක් භාර ගත්තා.
එම අභියෝගය භාර ගත්තේ රට බේරා ගත් සරත් ෆෝන්සේකා මැතිතුමන්ට සිදු වූ ඉරණම දැක දැකයි. තමන් පසුබෑමකට ලක් වුවහොත් අනිවාර්යයෙන්ම පොළොව යටට අඩි හයක් යන බව දැන දැනයි.
ජනාධිපතිතුමන් රට දැය දේශය වෙනුවෙන් කිසිවකුත් ඉදිරිපත් නොවන අවස්ථාවක මෙම අභියෝගය භාරගෙන සාධාරණත්වය ජය ගත්තා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එදා කළ කැප කිරීම සදා අමරණීයයි. ප්‍රශංසනීයයි.දැන් විවිධ ස්ථානවල විවිධ කතා අසන්නට ලැබෙනවා. හොර පාරෙන් ගිහින් භාරකාර ආණ්ඩුවක් හදන්නට පරාජිත පිරිසට දොළදුකක් හැදිලා.
මොවුන් අද හැමතැනම සාකච්ඡා පවත්වනවලු. නමුත් මට එක දෙයක් පැහැදිලිවම කිව හැකියි. අපේ ජනාධිපතිතුමන් තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට කිසිවිට සිල්ලරට අලෙවි කරන්නේ නැහැ බවමට විශ්වාසයි. එතුමා කවදාවත්ම එවැනි දෙයක් කරන්නේ නැහැ. ජනාධිපතිතුමා මුණ ගැහෙන්නට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්.
මේ පිරිස සුදානම් වන්නේ කුමකටද කියා අපේ ජනාධිපතිතුමන්ට හොඳට වැටහෙනවා. ඔවුන් මේ එන්නේ නැවත හිට්ලර් යුගයකටයි. මුසලනී යුගයකටයි. ආඥාදායකත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය රජ කරවන යුගයකටයි. එදා තමන් සහ තම පවුලේ ජීවිත පරදුවට තබා රට වෙනුවෙන් පෙරට ආ එතුමා තමන්ට ලැබුණු ජනවරම තුට්ටු දෙකට කිසිම කෙනෙකුට විකුණන්නේ නැහැ. එය ස්ථිරයි.”