අප්‍රේල් 25 මැතිවරණයේදී වාමාංශික කඳවුරක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ නායකයන් විසින් තීරණය කර තිබෙන බවත් එහෙත් පුද්ගලයන් කිහිප දෙනෙකු තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගැනීම සඳහා විවිධ කතා කියමින් සිටින නිසා ඒ තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි දැක්ම සහ දර්ශනය ආපස්සට හැරවීමට උත්සාහ නොකරන ලෙසත් මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ මහනුවරදී පැවැති විශේෂ ප්රවෘත්ති හමුවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා ,
විවිධ පුද්ගලයන් විවිධ කතා පැවසූවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂනායකත්වය තීරණය කර තිබෙනවා මෙවර මැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කිරීමට . නමුත් පුද්ගලයන් වශයෙන් විවිධ අය ඔවුන්ගේ මත ඉදිරිපත් කළ හැකියි . ඒ මොන දේ කතා කළත් පක්ෂ නායකයන් හැටියට වාමාංශික කඳවුර නියෝජනය කරන සියලු දෙනා එක තැනක සිට මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි කියා තීරණය කර හමාරයි . එය එක්කෙනෙක් දෙන්නෙක් කියන කතාව වලින් වෙනස් කළ නොහැකියි.
තමන්ගේ මනාප කුට්ටිය වැඩිකර ගැනීම සඳහා නොයෙක් අර්බුද මතු කරන්න සමහරුන් උත්සාහ කරනවා . ඒ පහළට වැටුණ දේශපාලන සංස්කෘතිය අද ජනතාව පිළිගන්නේ නැහැ . අපේ ආරම්භය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපේ දර්ශනය තිබෙන්නේ එතැනයි .ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවැරැදි දර්ශනය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම අපගේ වගකීමයි . කවුරුන් කුමක් කීවත් ඒ සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව පෙළ ගැසී සිටින්නේ යැයි ද ඔහු පැවසීය .