නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිසවැටිය විහාරාධිකාරී නාහිමියන් අද (08දා) පෙරවරුවේ බැහැ දුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
රට විශාල ණය බරකට මුහුණ දී තිබිණ. එහෙත් ඒ සියල්ල කළමනාකරණය කරමින් ජනතාවට වසංගත බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවකාශය ලබා දීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වා ගෙන යාමට ජනාධිපතිවරයාගේ එම වැඩපිළිවෙළ ආත්ම ශක්තියක් ලබා දී ඇති බව ඥානතිලක හිමියෝ පැවසූහ.
නැවත රට වැසීමට ඉඩ නොතබා ස්වයං විනයක් පනවා ගෙන ජීවත් විය යුතුය. එමෙන්ම ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහාය වීම සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
