මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කුරුණෑගල මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව මාවතගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමා ඊයේ (06) පස්වරුවේ මේ බව සඳහන් කළේය.
මහවැලි ගඟෙන් ලබාගන්නා ජලය කටුගස්තොට ජල පිරිපහදුවෙන් පිරිපහදුකර ගලගෙදර හරහා මාවතගමට ගෙන යන මෙම ව්‍යාපෘතියෙන් දශක කිහිපයක් තිස්සේ පිරිසිදු පානීය ජල හිඟයෙන් පීඩා විදි මාවතගම සහ ඒ අවට ග්‍රාමසේවා වසම් 28 කට සෙත සැලසෙයි.
මාවතගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල කර්මාන්ත පරිශ්‍රය සඳහා දිනකට අවශ්‍ය ඝන මීටර් 500 ක ජල අවශ්‍යතාවය ද මෙමඟින් ආවරණය වේ.
මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 3126 කි. මෙය දේශීය බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ජල යෝජනා ක්රමයකි.
“ජනතාවට සහනයක් දුන්නම සමහරු ඡන්දයක් ළඟ එනවා ද අහනවා. අපි මේ ව්‍යාපෘති කරන්නෙ ඡන්දයක් බලාගෙන නෙමෙයි. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂෙ මොකද්ද කියලා කවුරුහරි ඇහුව ද? සමහරු අද මේ සියලු දේ පටලවා ගන්නවා. ජනතාවට අමාරුයි කියලා සහන පැකේජයක් දුන්නමත් අහන්නෙ ඔය දේමයි. අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගත්ත රජයක්. භාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරුයි. ඒ නිසා තමයි අපි සහන දෙන්න යෝජනා කරන්නෙ.
හැබැයි අද විරුද්ධ පක්ෂය ජනතාවට සහන දෙනවට කැමති නැහැ. ඒ අය ඒකටත් මොනවා හරි කියනවා. අපි දුන්නත් කැමති නෑ. එයාලා දෙන්නෙත් නෑ. ජනතාව දැනගන්න ඕන ඇත්ත ඕකයි.
මේ අය කතා කරන්නෙ කොවිඩ් ගෙනාවේ අපි වගේ. හැබැයි කොවිඩ්වලින් ජනතාව ආරක්ෂා වුණේ අපි ගත්ත පියවර නිසා කියලා කවුරුත් කතා කරන්නෙ නැහැ.
බඩු මිල වැඩියි කියන එක දැනගත්තම අපි ඒ ගැන ආණ්ඩුවක් විදියට තීරණ ගන්නවා. හැබැයි මුළු ලෝකෙම වෙනස් කරපු කොවිඩ් වසංගතයෙන් සිද්ධ වුණ බලපෑම අපට එක රැයෙන් ඉවත් කරන්න බැහැ.
ජොන්ස්ටන් ඇමතිතුමා කියනවා වගේ රජයක් විදියට අපි ශක්තිමත්ව ඉදිරියට යනවා. අභියෝග මතින් හෝ ජනතාවට දුන් පෙරොන්දු ඉටු කරන්නයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ. ඒ සඳහා අභියෝග එන විට ඒ අභියෝගය භාරගන්න එකමුතුකම අවශ්‍යයයි. එහෙම නැතිව තමන් ඉන්න තැනම විවේචනය කරන කොට ජනතාව තේරුම් ගන්න ඕනි ඇයි විවේචනයට කලින් ක්‍රියාත්මක වෙන්න බැරිවුණේ කියලා.
අපිට අවශ්‍ය මේ රටේ අනාගතය වගේම ඔබේ අනාගතය දිනවන්න. අපිට අවශ්‍ය ඔබේ ජීවිතය දිනවන්න. ඔබේ දරුවන්ගෙ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අපි කරන කාර්යයට සහය දෙන්න. මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව මම විශ්වාසයෙන් යුතුව ඔබට මතක් කරනවා.”
