පාර්ලිමේන්තුවේ 225 ම එපා කියලා, දේශපාලනඥයෝ ගැන ජනතාව කළකිරීමෙන් කතා කළා. දේශපාලනඥයටම තමා වගකීම තිබෙන්නේ ඒ කළකිරීම දුරු කර ගැනීම සඳහා වැදගත් විදිහට හැසිරෙන්න. වර්තමාන පාර්ලිමේන්තුවෙන් ඒ වැදගත් හැසිරීම ජනතාව බලාපොරොත්තු වෙනවා යැයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගියදා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, අපි රටක් වශයෙන් නැගී සිටීමට නම් හැම තිස්සෙම අනෙක් අයට උපකාර කළ යුතුයි. අපි ඔක්කොම එකට එකතු වුණොත් තමයි අපි ශක්තිමත් වන්නේ. මොකද අපි එකිනෙකා සමග කුලල් කා ගනිමින්, එකිනෙකාට බැණ ගනිමින්, පහත් පෙළේ දේශපාලන ගමණක් යන පිරිසක් නෙමෙයි. මම ගම්පහ දිස්ත්‍රික්කයට එනවිට දුන් එක් පොරොන්දුවක් තමයි අපි මහත්මා දේශපාලනයක් කරනවා කියන එක. ගම්පහ දිස්ත්‍රික්කය තුළ අපි දේශපාලනය කරද්දි කිසිම කෙනෙකුට බැන්නේ නැහැ. කිසි කෙනෙක්ගේ වැරදි කිව්වේ නැහැ, කිසි කෙනෙකුට ආඩපාලි කිව්වෙ නැහැ. මම හිතන්නේ ජනතාව ඒක අගය කරපු නිසා තමයි තුන්ලක්ෂ විසිපන්දහසකට වඩා ජනතාව ඡුන්දය දුන්නේ. හැබැයි දේශපාලනයේදී ඡුන්දය දින්නට පස්සේ අපට ඡුන්දය දුන් අය නොදුන් අය අතර කිසිම වෙනසක් නැහැ. කිසිම වෙනසක් කරන්නේ නැතිව මේ මුළු ගම්පහ දිස්ත්‍රික්කයේම සියළුම දෙනා අපේ ජනතාව සේ සලකාගෙන ඒ අය සමග වැඩ කරනවා. ඒ අයට උදව් කරනවා. තවමත් අපට සමහර දේශපාලනඥයෝ පහර දෙනවා. සමහරු යටින් අපට බැණ බැණයනවා, කකුලෙන් අදිනවා. හැබැයි එහෙම කරලා මේ රට හදන්න බැහැ. මේ රට හදන්න පුළුවන් වෙන්නේ අපි සියළු දෙනාම මහත්මා දේශපාලනය කළොත් පමණයි. මම විශ්වාස කරනවා වර්තමාන සමාජය ඒ පරණ දේශපාලන ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරනවා. ඒක පිළිකුල් කරනවා කියලා. අපි උත්සාහ කරනවා හොඳ ක්‍රමවේදයක් මේ රටට ගේන්න.
එක අතකට අපි කණගාටු වෙනවා තවමත් අපට පාර්ලිමේන්තුවට ඒ ආදර්ශය දෙන්න බැරිවෙලා තිබෙන එක ගැන. මොකද පහුගිය කාලේ මේ රටේ හුඟක් මිනිස්සු කිව්වා 225 ම එපා කියලා. ජනතාව කළකිරීමෙන් කතා කළා දේශපාලනඥයෝ ගැන. දේශපාලනඥයටම තමා වගකීම තිබෙන්නේ ඒ කළකිරීම දුරු කර ගැනීම සඳහා වැදගත් විදිහට හැසිරෙන්න. වර්තමාන පාර්ලිමේන්තුවෙන් ජනතාව බලාපොරොත්තු වෙනවා ඒ වැදගත් හැසිරීම. ඒ වැදගත් හැසිරීම කිහිප දෙනෙක් නිසා අවාසනාවකට වගේ අපට තවම ඇතිකරගන්න බැරිවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ හැම කෙනෙක්ම නරකට හැසිරුණා නෙමෙයි, හැම කෙනෙක්ම සණ්ඩු දබරවලට යනවා නෙමෙයි හැම කෙනෙක්ම අපහාස කරනවා නෙමෙයි, නමුත් තමුන්ණාන්සේලා මාධ්‍යවල දකින්නේ ඒ අපහාස කරන අය පමණයි. අනෙක් අය සමග රණ්ඩු කර ගන්න අය පමණයි. ඒ අය පමණයි මාධ්‍යවලින් පෙන්වන්නේ. ඒ නිසා ජනතාව හිතනවා සමස්ථ පාර්ලිමේන්තුව මේ වගේ කියලා. ඒකත් එක්තරා අවාසනාවන්ත තත්වයක්.
අපි හොඳ දෙයක් කතා කළහම වැදගත් විදිහට පාර්ලිමේන්තුවේ හැසිරුණහම ඒවා මධ්‍යවලින් පෙන්වන්නේ නැහැ. ඒක නිසා ජනතාව තුළ තවමත් අර නරක මතය තිබෙනවා. ඒ කෙසේ වෙතත් මම හිතන්නේ කිහිප දෙනෙක් හෝ වැරදියට හැසිරෙනවා නම් ඒක වෙනස් කර ගන්න එකත් දේශපාලනඥයාගේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. අපි උත්සාහ කරනවා උපරිම මට්ටමින් ජනතාව අපෙන් බලාපොරොත්තු වූ දේ ගෙනයන්න. ජනතාව අපෙන් බලාපොරොත්තු උනා මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න, රටට වැඩක් කරන්න. ඉතින් ඒ නිසා අපටත් සීමාවල් තිබෙනවා. හැබැයි අපේ සීමාවල් ඇතුලේ අපි ජනතාව බලාපොරොත්තු වූ දේ කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා අවසානයේදී ජනතාව තීන්දු කරාවි අපි හරි දේ කළාද නැද්ද කියලා යැයි පැවසීය.