2015ට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුව ජාතික කෞතුකාගාරයට කඩාවැදී එහි තිබෙන පුරාවස්තු සොරකම් කළ බවත්, පවතින රාජපක්ෂ ආණ්ඩුව පුරාවස්තු විනාශ කරන්නට පටන්ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් කැලණිය ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ගෝඨාභය, මහින්ද රජය යටතේ රටේ ජාතික උරුමයන්ට අත්වෙමින් තිබෙන ඉරණම පිළිබඳ කනගාටුවට පත්වන බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
කැලණිය ලක්වනිතා සංවිධානයේ හමුවකට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා,
"කුරුණෑගල රාජධානියේ බුවනෙකබා රාජ සභා මණ්ඩපය මේ වනවිට ඩෝසර් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා වෙනත් කතාවක් කියනවා. කුමන කතා පැවසුවත් එම ජාතික උරුමය මේ වනවිට රටට අහිමි වී තිබෙනවා. ඔවුන් අතීත පාලන සමයේදී කෞතුකාගාරය කොල්ලකෑවා.
දැන් රටේ පුරාවස්තු විනාශ කරමින් සිටිනවා. මේ කල්ලිය බුවනෙකබා රාජ සභා මණ්ඩපය පිළිබඳ විවිධ පරස්පර කතා දැන් කියමින් සිටින්නේ නීතිය ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහායි. සැබෑ දේශප්‍රේමීන් නම් මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්නැයි අපි ආණ්ඩුවට කියනවා.
අද මුළු ලෝකයේම බරපතළ සෞඛ්‍ය අවදානමක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෑම තැනකින්ම කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා. කොරෝනා දෙවෙනි රැල්ලක් පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ද අනතුරු හඟවා තිබෙනවා. නමුත් ආණ්ඩුව මෙම කොරෝනා රැල්ල මර්දනය කිරීමට කිසිදු උනන්දුවක් දක්වන බව පෙනෙන්නේ නැහැ. ඔවුන්ගේ එකම අරමුණ වන්නේ මිනිස් ජීවිත අවදානම හෙළමින් තමන්ගෙන් ගිලිහී යන බලය ආරක්ෂා කර ගැනීම සඳහා කාලය යෙදවීමයි.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුවේ වාර්තාවල විශ්වාසයද මේ වනවිට පළුදු වී තිබෙනවා. මිනිස් ජීවිත අවදානමේ හෙළමින් තම බලලෝභී අරමුණු සඳහා කටයුතු කරන ආණ්ඩුව පරාජය කිරීම සඳහා ජනතාව තම ඡන්ද බලය නිවැරදිව යොදාගත යුතුයි" යනුවෙන්ද විජයවර්ධන මහතා සඳහන් කළේය.