ලංකාවේ දැන් අපූරු දේවල් සිද්ධ වෙනවා. රජය තමන්ගේ නොහැකියාව ඕනාවටත් වඩා ප්‍රදර්ශනය කර තිබෙන මේ අවස්ථාවේ නාටකයක් දියත් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියනවා. ඒ අතරේ චම්පික ඇමැතිවරයාත් නාඩගමක් නටමින් සිටිනවා. ආණ්ඩුව බෙදිලා රටේ ඇත්ත තත්ත්වය වසන් කිරීමට දිනපතා විවිධ ජවනිකා පෙළ ගස්වනවා යැයි පා.ම අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.
අද (21) පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්විමේදි ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
උපාධිදාරීන් එක්ලක්ෂ 55000කට රැකියා නැහැ. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අයට විතරයි රැකියා ලැබෙන්නේ. අනෙක් අය තියෙන රැකියාවකට යන්න සිද්ධි වෙනවා. උපාධිධාරින් පමණක් මෙපමණ ඉන්නවා කියන්නේ විශාල ප්‍රමාණයක්. උසස් පෙළ සමත් විශ්ව විද්‍යාලයට යන්න බැරි වුන අය ලක්ෂ 12ක් ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ 15ක් මේ වෙද්දි රැකියා පෝලිමේ ඉන්නවා.
රටේ එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙද්දි ආණ්ඩුව මේ විදියට නාඩගම් නටමින් සිටින්නේ. ලංකාවේ පුද්ගලික අංශය මේ වෙද්දි විවිධ හේතු නිසා තමන්ගේ ආයතනවල සේවකයින්ව රැකියාවන්ගෙන් දොට්ට දමමින් සිටිනවා. විශේෂයෙන් සංචාරක ක්ෂේත්රය අනෙකුත් සේවාවන් සමඟ බැදී සිටිනවා.
සැපයුම්කරුවන්, රියදුරන් මේ සියලු දෙනා ආර්ථිකයෙන් වැටිලා. රටේ ආර්ථිකයේ එන්ජිම විදියට අපි දැක්කේ පුද්ගලික අංශයයි. අද ඒ එන්ජිමත් දුම් දමමින් නතර වෙන්න එන්නේ. එක පැත්තකින් දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ නොහැකියාව තදින්ම පේන්න තියෙනවා. රැකියා වෙළෙඳපොළේ රජයේ හෝ පුද්ගලික අංශවලින් රැකියා සැපයීමක් සිද්ධ වෙන්නේ නැහැ.
රටේ ආර්ථිකය ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ. මිනිස්සුන්ගේ මිලදි ගැනීමේ හැකියාව සම්පුර්ණයෙන්ම වැටිලා තියෙන්නේ. වෙනදා කිලෝ එකක් මිලදී ගත්ත මිනිහා අද මිලදි ගන්නේ ග්‍රෑම් 250යි.
මේ පාලකයින් යටතේ රට අසාර්ථක වෙමින් තිබෙනවා. රට ගෙනියන්න දවසකට ආණ්ඩුවකට රුපියල් බිලියන 4ක් ආණ්ඩුවට අවශ්‍ය වෙනවා. මේ වසරේ පළවෙනි කාර්තුව කිසිවෙක් බදු ගෙවලා නැහැ. බදු ගෙවන්න ආදායමක් නැහැ. රජය බදු වැඩිකරලා බදු ගන්න හැදුවත් ඒක හරි ගිහිල්ලත් නැහැ. ව්‍යාපාරික ක්ෂේත්රයේ මේ දැවැන්ත බිදවැටීමට හේතුව මිනිස්සු අත මුදල් නොගැවසීම.
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ රට විදෙස්රට වල කෙළිබිමක් වෙමින් තිබෙනවා. ආණ්ඩුව අත්දැකීමක් නැතිව විවිධ රටවල් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරමින් තිබෙනවා. රටේ ආරක්ෂාව ගැන බිංදුවකවත් අවබෝධයක් තියෙනවා නම් මේ විදියට වැඩ කරන්නේ නැහැ. ජාත්‍යන්තරයේ ආභාසය හා උපදෙස් පමණයි මේ අයට ලැබුනේ කියලා මම හිතනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි