සඳ පෘෂ්ඨයෙන් සාර්ථකව පාෂාණ සාම්පල ලබාගත් චීනයේ චැන්ග්-5 අභ්‍යවකාශ යානයේ ලෑන්ඩර් සහ ඇසෙන්ඩර් (සඳ පෘෂ්ඨයට ගොබැසීම සහ ඉන් ඉහළට නැගීම සිදුකළ ගවේෂණ යානා) ඊට සම්බන්ධිතව පැවති චීනයේ ජාතික ධජය ස්වයංක්‍රීයව සඳ මතුපිට ඔසවන ආකාරය දැක්වෙන දසුන් චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් නිකුත් කර තිබේ.
ඇසෙන්ඩර් යානය යළි තම මවු යානය සමග සම්බන්ධ වීම සඳහා සඳ පෘෂ්ඨයෙන් පිටත්වීමට පෙර මෙසේ ධජය එසවීම සිදුකර ඇති අතර, චීනය අව්‍යාජ රෙදිපිළිවලින් සාදන ලද ජාතික ධජයක් සඳ මත ප්‍රදර්ශනය කළ පළමු වැනි අවස්ථාව මෙයයි. 2013 සහ 2019 චීන අභ්‍යවකාශ යානාවල චීන ධජය දැක්වුණත්, ඒවා අලේපන ස්වරූපයෙන් විය.
කෙසේ වෙතත් චන්ද්‍ර පෘෂ්ඨය මත ධජයක් ප්‍රදර්ශනය කිරීම පෘථිවියේ ඇති දෙයට සමාන දෙයක් නොවේ.
ප්‍රබල විද්‍යුත් චුම්භක විකිරණ සහ සඳ මතුපිට දිවා රෑ අතර ඇති විශාල උෂ්ණත්ව වෙනස නිසා සාම්ප්‍රදායික ද්‍රව්‍යවලින් සාදන ලද ධජයක් චන්ද්‍ර පෘෂ්ඨයට නිරාවරණය වූ විට එහි වර්ණ මැකී යන අතර ක්ෂණිකව දිරාපත් විය හැකිය.
එබැවින් චීන විද්‍යාඥයන් මෙම ධජයට අවශ්‍ය නිසි අමුද්‍රව්‍යය සොයා ගැනීමට වසරක් ගතකළ අතර, එය චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති කටුක පරිසරයට ඔරොත්තු දිය හැකි සහ එහි වර්ණය හා හැඩය රඳවා ගත හැකි නව සංයුක්ත ද්‍රව්‍යයකි. ඒ අනුව විශේෂ ද්‍රව්‍යවලින් සාදන ලද ධජයේ බර ග්‍රෑම් 12ක් පමණ බව කියයි.
ධජය ප්‍රදර්ශනය කිරීම සඳහා සුවිශේෂී ස්වයංක්‍රීය පද්ධතියක්ද අවශ්‍ය වේ. එහිදී පර්යේෂකයන් විසින් එම ස්වයංක්‍රීය උපකරණ සිහින් කර එහි බර කිලෝග්‍රෑම් 1ක් දක්වා අවම කිරීමට වෙහෙස මහන්සි වී ඇත. තවද ධජය එසවූ එම ස්වයංක්‍රීය පද්ධතිය සඳ මත ඇති උපද්‍රව තත්වයන් දරාගත හැකි ද්‍රව්‍යවලින්ද සෑදී ඇති බව කියයි.