පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟම කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගත් බවත් , එහිදී ගුවන් මගීන්ට 100% ක පහසුකම් පෙර දා මෙන් සැලසීම අපහසු වී ඇති බැවින් , ගුවන් මගීන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බැව් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය .
මෙම ප්රවෘත්ති සාකච්ඡාව කටුනායක ගුවන් තොටුපළ " සිල්ක් රූට්" විශේෂ අමුත්තන්ගේ මැදිරි ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර , එයට දෙස් - විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් තොටුපළ සභාපතිවරයා ,
ගුවන් හමුදාව , යුධ හමුදාව , පොලීසිය , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් , රාජ්‍ය බුද්ධි අංශ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළත් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර , ඔවුන්ගේ දැනුම අනුව නව ආරක්ෂක වැඩපිළිවෙළ සම්පාදනය කර ඇති බවත් පැවසීය .
මෙහිදී මුලින්ම ගුවන් තොටුපළ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සිදු කෙරෙන අතර , දෙවනුව ගුවන් මගීන්ගේ පහසුකම් පිළිබඳව අවධානය යොමු කර ඇත.
එහිදී මෙම කරුණු දෙක පිළිබඳව සමබරතාවයකින් යුතුව කටයුතු කිරීම අපහසු වී ඇති අතර , වැඩි බරක් ගුවන් තොටුපළ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවද පැවසීය .
එහිදී මුලින්ම ගුවන් තොටුපළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විවිධ පියවර රැසක් ගත් අතර , ඒ නිසා ගුවන් මගීන්ට අපහසුතා ඇති වූ බවද තමා පිළිගන්නා බවද පැවසීය .
දෙවනුව ගුවන් යානා ප්‍රමද වීම් සහ අවලංගු වීම් නොමැති වන ආකාරයට දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට අප කටයුතු කළා . මේ සඳහා ගුවන් තොටුපළ සේවකයින් කැපවීමෙන් තම සහයෝගය ලබා දුන්නා .
ගුවන් තොටුපළට පිවිසීමේ දී අමතර ආරක්ෂක කටයුතු නිසා ඇති විය හැකි ප්‍රමාද වීම් අවම කිරීම සඳහා තම ගුවන් යානය පිටත්වීමට පැය 04 කට ගුවන් තොටුපළ වෙත මගීන්ට පැමිණ සිටින ලෙසද කළමනාකරණ ප්‍රධානීවරයා දැනුම් දුන්නේය .
ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් තම පවුලේ උදවිය සහ හිතවතුන් රැගෙන ඒමෙන් වලකින ලෙසත් , ඔවුන්ට ගුවන් තොටුපළ වෙත පිවිසීමට අවසර නොමැති බවද දැන්වීය.
කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මගීන් සඳහා අනුගමනය කරන නව ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ද එතුමා සදහන් කළේය .
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග , එම සමාගමේ උපසභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම , එම සමාගමේ විධායක අධ්යක්ෂ සංජීව විජේරත්න , ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි , කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් සේනක ප්‍රනාන්දු පුල්ලේ සහ ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ යන මහත්වරු ද සහභාගී වී සිටියහ.
ටි.කේ.පි.කපිල