ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු අද (12) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන කටයුතු අඩපණ වී තිබිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන කාර්යයේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටලුවලට විසඳුම් නොලැබීම හා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රාජකාරිමය ගැටලු නොවිසඳීම යන කරුණු මූලික කරගනිමින් ඔවුහු මෙලෙස වැඩ වර්ජනය කළහ.
මේ පිළිබඳ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ සභාපති පුලින රණසිංහ මහතා මෙසේ කීවේය.
“ගාල්ලේ කොරෝනා මර්දන කාර්යයේ දී අපිට විශාල ගැටලු කිහිපයක් තිබෙනවා. කිසිම සැළැස්මක් නොමැතිවීම හා අවුල්සහගත කටයුතු නිසා අපි විතරක් නොවෙයි දිස්ත්‍රික්කයේ ම ජනතාව දැඩි ගැටලුවලට මුහුණ දී සිටිනවා. ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා ඒකකයට මේ සම්බන්ධයෙන් කිසිම සැළැස්මක් නැහැ. එක් එක් දවසට හිතෙන හිතෙන දේ කරනවා. පීසීආර් කිරීමේ පවා සැළැස්මක් නැහැ. ඇතැම් දවස්වලට ඊමේල් එවනවා එක සෞඛ්‍ය සේවා කොට්ඨාසයකින් පීසීආර් 20-40ට වඩා කරන්න එපා කියලා. ආසාදිත වන අය රෝහල්කරා යැවීමත් ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමත් මුළුමනින්ම අවුල් සහගත වෙලා තියෙන්නේ. ඒ වගේම සත්‍ය තොතරු මත පදනම්ව කටයුතු කරන්නේත් නැහැ. මෙය ඉතා භයානක තත්ත්වයක්. වෘත්තීය වශයෙන් අපිටත් ගැටලු තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ යතුරුපැදි සඳහා ඉන්ධන දීමනාව දීලා නැහැ. ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු ගැටලුවක් නිර්මාණය කරලා තිබෙනවා. ඔවුන් තමන්ගේ ගැටලුව අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිට පැටවීමට උත්සාහ ගන්නවා. ගාල්ලේ වෛද්‍යවරු සම්පූර්ණයෙන් ම කරන්නේ නීතියට පටහැනි දෙයක්. මේ කරුණු ගැන අපේ මව් සංගමය වගේම ගාල්ල ශාඛාවත් ආණ්ඩුකාරවරයාගෙන් හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. අපි සාකච්ඡාවක් ඉල්ලූ වාර ගණන 18ක්. නමුත් ඒ අය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයට යට වෙලා අපිට සාකච්ඡාවක් දෙන්නේ නැහැ. අපි අද වැඩ වර්ජනය කරනවා කියා දැනුම් දුන් විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් එක්ක ආණ්ඩුකාරවරයා සාකච්ඡාවක් කළා. අපිට සාකච්ඡාවට අවස්ථාවක් දෙන්නේ නැහැ. මේ නිසා අපි වැඩ වර්ජනය කරනවා.”
ඔවුන් පවසන්නේ මේ ගැටලු සඳහා විසඳුම් නොදෙන්නේ නම් ඉදිරියේ දී වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි.
සිරංගිකා ලොකුකරවිට