කොළඹ ලේ බැංකුවේ සිට අනුරාධපුර ජාතික රෝහල වෙත ගමන් ගනිමින් සිටි අනුරාධපුර රෝහලෙහි ගිලන්රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලීසිය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ ( 23) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තවත් අයෙකු සමග මෝටර් රථයක ගමන් ගනිමින් සිට ඇති අතර යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් බැලුම්මහර නගරයේදී මෝටර් රථයට ඉඩ නොදීමේ සිදුවීමක් හේතුවෙන් ගිලන්රථය ඉදිරියෙන් මෝටර් රථය නවත්වා කතාබහක් ඇතිව එය පහර දීමක් දක්වා දුරදිග ගොස් ඇති බව පොලීසිය පවසයි.
පහරදීම සම්බන්ධයෙන් ගිලන්රථයේ රියදුරා යක්කල පොලිස්ථානයට පැමිණිලි කොට ඇති අතර පහරදීම සිදුකළ අවස්ථාවේ ගිලන්රථයේ සිටි සහායකයා විසින් සිය ජංගම දුරකථනයෙන් රූපගත කිරීමේදී පහරදුන් අය විසින් ජංගම දුරකථනය උදුරාගෙන පොලවේ ගැසූ බව ප්‍රකාශ කළ බවත් පොලීසිය පවසයි.
පහර කෑමට ලක්ව ඇති ගිලන්රථ රියදුරා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්ව මූලික ප්‍රතිකාර ලබා අනුරාධපුර රෝහල බලා ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම පහරදීම සම්බන්ධයෙන් යක්කල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතාගේ උපදෙස් මත අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ ඔහු සමග ගමන්ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අද (24) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
(ගම්පහ තිලකරත්න දිසානායක සහ ගම්පහ අධිකරණ ටෝනි කරුණා නායක)