කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රමුඛතම රාජකාරියක් ඉටු කරමින් සිටින ග්‍රාම නිලධාරීන්ට මේවනවිට දැඩි ජීවිත අවදානමක් හමුවේ රාජකාරි ඉටු කිරීමට සිදුව ඇතැයිද ඔවුන්ට කොරෝනා මර්ධන එන්නත ඉක්මණින් ලබා දීමට රජය පියවර නොගතහොත් ලබන 30 වන දින සිට සියළුම කොරෝනා රාජකාරි වලින් ඉවත් වන බවද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ටිරාජ් දල්පතාදු මහතා කියා සිටියේ අනෙකුත් ග්‍රාම නිලධාරි සංගම්ද සමඟ එක්ව සාකච්ඡා කොට මෙම තීරණය ගත් බවය.
මෙම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්රමුඛ රාජකාරි ඉටු කරමින් සිටින රාජ්‍ය සේවකයින්ට කොරෝනා මර්ධන එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික කොවිඩ් මර්ධන මධ්‍යස්ථාන එක්ව සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුවේ දිවයිනේ ග්‍රාම නිලධාරීන්ට ස්ථානයක් හිම නොවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවද මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කරමින් ඉල්ලීම් කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවද දල්පතාදු මහතා සඳහන් කළේය.
සමස්ත දිවයිනේම සේවය කරන්නේ විසි හතර දහසකට ආසන්න ග්‍රාම නිලධාරීන් පිරිසක් වන අතර ඔවුන් සඳහා වැයවන්නේ කොරෝනා මර්ධන එන්නත් පනස්දහසක් වැනි සුළු ප්‍රමාණයක් බැවින් එම එන්නත ලබාදී ග්‍රාම නිලධාරීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම අපහසු කාර්යයක් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.