ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්යක්ෂවරයා හෙද හෙදියන්ගේ පාලනයට අනිසි ලෙස මැදිහත්වීමක් සිදුකරන බව සඳහන් කරමින් හෙද හෙදියන් විසින් ඊයේ (10 ) දිනයේ ආරම්භ කළ වර්ජනය අද දිනයේදීද පැවැත්විණි.
මේ හේතුවෙන් රෝහලෙහි හදිසි ප්‍රතිකාර අංශයන් හැර සායනික, ශල්‍යාගාර ඇතුළු සියලුම රෝගී සත්කාරක සේවාවන්ගෙන් හෙද, හෙදියන් ඉවත්වීමට පියවර ගෙන සිටිති.
මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට හේතුවී ඇති තත්ත්වය පැහැදිළි කරමින් රජයේ හෙද සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවෙහි ලේකම් හේමකාන්ති අත්තනායක මහත්මිය සදහන් කර සිටියේ, රෝහලෙහි හෙද හෙදියන්ගේ පාලනය පිනිස විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් තිදෙනෙකු සිටියදී රෝහල් අධ්යක්ෂවරයා පාලනය අභිබවා යමින් කටයුතු කිරීමට විරෝධය පළකිරීම පිනිස ඊයේ සිට , රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සේවාවන් හැර අනෙකුත් රෝගී සත්කාරක සේවාවන්ගෙන් ඉවත්ව සිටින බවය.
මෙලෙස වර්ජනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , තමන් හෙද කාර්ය මණ්ඩලයෙහි කටයුතු සදහා අනිසි මැදිහත්වීමක් කිසිදු අවස්ථාවක සිදු නොකරන බවත් ආයතන ප්‍රධානියා ලෙස රෝහලෙහි කටයුතු නිසියාකාරයෙන් පවත්වාගෙන යාම පිනිස ආයතන සංග්‍රහයට අනුව ක්‍රියාකරන බවත්ය.
මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ, නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම යන මහත්වරුන් සමග විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් සහ හෙද හෙදියන් රෝහල් පරිශ්‍රයේදී සාකච්ඡාව පවත්වා ඇති අතර එය විසදුමකින් තොරව අවසන්ව ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක
