ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශය 19 ක් තුල නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වූවද ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා , වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු රෝගී දීමනා නියමිත පරිදි සැමටම ලබාදීමට පියවර ගනු ලැබූ බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
මෙම දීමනා අතුරින් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා සහ වැඩිහිටි දීමනා මුදල් ලබා දීම බැංකු සහ තැපැල් කාර්යාල මගින්ද ආබාධිත දීමනා සහ වකුගඩු රෝගීන් සදහා දීමනා ලබා දීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරීන් විසින්ද ලබාදීමට පියවර ගනු ලැබූ බව දිස්ත්‍රික් ගණකාධිකාරී වී.ඩී.එස්.රොඩ්රිගෝ මහතා පැවසීය.
ඇදිරි නීතිය ක්රියාත්මකවූවද දිසාපතිවරයාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 තුල වෙසෙන ජ්‍යෙෂ්ඨ සහ වැඩිහිටි පුරවැසි 30,975 දෙනෙකුද , ආබාධිත තැනැත්තන් 4,592 දෙනෙකු සහ වකුගඩු රෝගීන් 849 දෙනෙකු වෙනුවෙන් මාසික දීමනා ගෙවීම පිණිස රුපියල් මිලියන 89 ක මුදලක් වෙන් කිරීමට පියවර ගත් බවද ගණකාධිකාරීවරයා සදහන් කළේය.
තවද කොවිඩ් 19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන දැනට නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින පවුල් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම පිණිස ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කොට ඇති බවත් මේ යටතේ දැනට නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි අවශ්‍ය ළමා නිවාස, වැඩිහිටි නිවාස, පිරිවෙන් සහ ආගමික සිද්ධස්ථාන සදහාද දිසාපතිවරයාගේ උපදෙස් පරිදි වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පියවර ගැනෙන බවත් කළ විමසුමසකට පිළිතුරු දෙමින් දිස්ත්‍රික් ගණකාධිකාරී රොඩ්රිගෝ මහතා පැවසීය.