කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර ලබාදීම පිණිස ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇදන් 511 න් ඇදන් 475 ක් අද (26) උදෑසන වනවිට රෝගීන්ගෙන් පිරී පැවති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් මෙය ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල 42 කු බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
ගතවූ පැය 24 තුල ඊයේ උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 216 දෙනෙකු හමුව ඇති බව සදහන් කළ අධ්යක්ෂවරයා , වැඩිම ආසාදිතයින් මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් - 35 ක් , වත්තල - 31 ක් , ජාඇල - 21 ක් , ගම්පහ - 19 ක් , බියගම - 18 ක් , මහර - 15 ක් සහ සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 12 දෙනෙකු වශයෙන් හමුව ඇති බව කළ විමසුමකට පිළිතුරු දෙමින් අධ්යක්ෂවරයා පැවසීය.
අවුරුදු උත්සව සමයෙන් පසුව කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකු හමුවීමෙන් පසුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ උදෑසන වනවිට ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 3227 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීම පිණිස අදාල ප්‍රදේශයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ උපදෙස් පරිදි ඒ ඒ කොට්ඨාස බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් ආසාදිතයින් 19,364 දෙනෙකු දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බව පැවසූ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා , ඊයේ වනවිට 2,21,075 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති බවද කීය.
ගම්පහ තිලකරත්න දිසානායක