කොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවූ 66 දෙනෙකු අද (16) දිනය වනවිට ගතවූ පැය 24 ක කාලයක තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් දැනට ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුල තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.
ගතවූ පැය 24 තුල ආසාදිතයින් හමුවීම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය 16 අතුරින් , 33 දෙනෙකු වන වැඩිම ආසාදිත සංඛ්‍යාව වත්තල බල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බවත් දොම්පෙ - 3 ක්, ගම්පහ - 2 ක් , කැලණිය - 8 ක් , බියගම - 5 ක්, මීගමුව 11ක් , අත්තනගල්ල, මහර , ජාඇල සහ සීදුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්ගෙන් එක් අයෙකු බැගින්ද හමුව ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
පසුගිය මස 4 වෙනි දින සිට ඊයේ වනවිට කර්මාන්ත ශාලාවලින් හමුව ඇති මුලු ආසාදිතයින් සංඛ්‍යාව ආයෝජන මණ්ඩල කලාපය (කටුනායක) - 451 ක්, ආයෝජන කලාපය ( බියගම) 21 ක් සහ ආයෝජන කලාප නොවන කර්මාන්ත ශාලාවලින් 325 ක් ඇතුලුව 797 දෙනෙකු හමුව ඇති බවද අධ්යක්ෂවරයා සදහන් කළේය.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4788 දෙනෙකු වන අතර ඊයේ වනවිට පී.සී.ආර් පරීක්ෂාවට ලක්කොට ඇති සංඛ්‍යාව 64,603 දෙනෙකු බවද හෙතෙම සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සහ කැලණිය ප්‍රදේශයන්හි කර්මාන්තශාලා කිහිපයක පිටතින් ශ්‍රමිකයින් සැපයීමේ සහ නේවාසික කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු නොවීමේ තත්ත්වයක් පවතින බව පෙනී ගොස් ඇති බව අධ්‍යක්ෂක මිගාර ඈපා මහතා පෙන්වා දුන් අතර එම තත්ත්වයන් නිවැරදි කර ගැනීමට උපදෙස් ලබාදී ඇති බවද කීය.