කොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවූ 52 දෙනෙකු ඊයේ (14) දිනය වනවිට ගතවූ පැය 24 ක කාලයක තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් දැනට ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුල තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.
ගතවූ පැය 24 තුල ආසාදිතයින් හමුවීම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය 16 අතුරින් , 11දෙනෙකු වන වැඩිම ආසාදිත සංඛ්‍යාව වත්තල බල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බවත් දොම්පෙ සහ ගම්පහ බල ප්‍රදේශයන්ගෙන් 8 දෙනෙකු බැගින්ද , කැලණිය - 6 ක්, මහර - 5 ක්, මිනුවන්ගොඩ - 4 ක්, බියගම සහ කටාන ආසාදිතයින් 3 ක් බැගින්ද , මීරිගම - 2 ක් , මීගමුව සහ රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්ගෙන් එක් අයෙකු බැගින්ද හමුව ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
පසුගිය මස 4 වෙනි දින සිට ඊයේ වනවිට කර්මාන්ත ශාලාවලින් හමුව ඇති මුලු ආසාදිතයින් සංඛ්‍යාව ආයෝජන මණ්ඩල කලාපය (කටුනායක) - 451 ක්, ආයෝජන කලාපය ( බියගම) 19 ක් සහ ආයෝජන කලාප නොවන කර්මාන්ත ශාලාවලින් 320 ක් ඇතුලුව 790 දෙනෙකු හමුව ඇති සදහන් කළ අධ්යක්ෂ වරයා ගතවූ පැය 24 තුල ආයෝජන කලාප නොවන කර්මාන්ත ශාලා වලින් පමණක් ආසාදිතයින් 11 දෙනෙකු හමුව ඇති බවත් පැවසීය.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති ආසාදිතයින් සංඛ්‍යාව 4749 දෙනෙකු වන අතර ඊයේ වනවිට පී.සී.ආර් පරීක්ෂාවට ලක්කොට ඇති සංඛ්‍යාව 64,270 දෙනෙකු බවද හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති සෞඛ්යාරක්ෂිත උපදෙස් පිළිපැදීම බොහෝ කර්මාන්තශාලා මගින් සිදු කිරීම මත කොරෝනා රෝග ආසාදනයවීමේ යහපත් පාලනයක් සිදුව ඇති බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා , මෙම තත්ත්වය සෑම කර්මාන්තශාලාවකින්ම බලාපොරොත්තු වන බවත් සමස්ත ජනතාවගෙන්ම සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සහ කැලණිය ප්‍රදේශයන්හි කර්මාන්තශාලා කිහිපයක පිටතින් ශ්‍රමිකයින් සැපයීමේ සහ නේවාසික කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු නොවීමේ තත්ත්වයක් පවතින බව පෙනී ගොස් ඇති බව අධ්‍යක්ෂක මිගාර ඈපා මහතා පෙන්වා දුන් අතර එම තත්ත්වයන් නිවැරදි කර ගැනීමට උපදෙස් ලබාදී ඇති බවද කීය.
ගම්පහ තිලකරත්න දිසානායක