ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩි බවක් පවතින බවත් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 521 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
පැය 24 ක කාලය තුල 79 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් බියගම කොට්ඨාසයෙන් - 62 ක් , වත්තල සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් 56 බැගින් ද , මහර - 42 ක්, දිවුලපිටිය - 41 ක්, ජාඇල - 34 ක් , මීරිගම - 33 ක්, අත්තනගල්ල - 25 ක්, කටාන - 23 ක් , සීදූව - 22 ක්, මිනුවන්ගොඩ සහ කැලණිය කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් 18 දෙනෙකු බැගින්ද වැඩි වශයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන කලාපයට අයත් කටුනායක සහ බියගම කර්මාන්තශාලාවලින් හා වෙනත් කර්මාන්තශාලා වලින් ආසාදිතයින් 43 දෙනෙකු හමුව ඇත.
මෙම ආසාදිතයින් හමුවීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්රයෙන් සිදු කළ පරීක්ෂාවන්හිදී 465 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණවලදී ආසාදිතයින් 56 දෙනෙකු වශයෙන් වන බවත් මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද උදෑසන වනවිට හමුව ඇති ආසාදිතයින් සංඛ්‍යාව 23,836 දෙනෙකු බවත් අධ්යක්ෂවරයා කීය.
මේ අතර ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ආසාදිතයින් වශයෙන් හදුනාගැනෙන තත්ත්වයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
ඊයේ වනවිට දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි පවතින ඇදන් 511න් ඇදන් 416 පිරී තිබූ බව සදහන් කළ අධ්යක්ෂ නලීන් ආරියරත්න මහතා , ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,918 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද කීය.
මේ අතර කොවිඩ් මර්ධන එන්නත යළිත් ලබා දීම ඊයේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කෙසෙල්වතුගොඩ ග්‍රාම නිලධාරී වසමින් ආරම්භ කළ බවත් අද දින සිට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 15 මගින් ලබාදීම සිදු කෙරෙන බවත් අධ්යක්ෂ නලීන් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
දිස්ත්‍රික්කයෙහි 2,52,222 දෙනෙකු ඊයේ වනවිට පී.සී.ආර් පරීක්ෂාවන් සදහා භාජනය කොට තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක