ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කීපයක කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් පුද්ගලයන් 148 දෙනෙකු අද (22) දිනය වන විට නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ඊයේ (21දා) දිනයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 733 කින් මෙම ආසාදිතයින් සංඛ්‍යාව හඳුනාගෙන සිටින බවද කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.මේවනවිට තිත්තවැල්ගාල ප්‍රදේශය තුළින් පමණක් නව කොරෝනා ආසාදිතයින් 175 දෙනෙකු වාර්තා වී ඇති බවද කරුණාරත්න මහත්මිය පැවසුවාය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මේවනවිට කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල , හුනුපොළ, සීරාදුන්න, අලුත්ගම සහ හෙට්ටිගම යන ග්‍රාම නිලධාරි වසම් කීපයම හුදෙකලා තත්ත්වයට පත් කර තිබේ.
හුදෙකලා කරන ලද ප්‍රදේශ වලින් ජනතාව පිටවීම වැළැක්වීම සඳහා යුද හමුදාව සහ පොලීසිය යොදවා මාර්ග බාධක යෙදීමටද පියවර ගෙන ඇත.
මීට අමතරව කුලියාපිටිය, පන්නල, කුටුපොත සහ නාරම්මල ප්‍රදේශ වලින්ද කොරෝනා ආසාදිතයින් බහුලව වාර්තා වීම හේතුවෙන් පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමන එම ප්‍රදේශ ඉදිරියේදී හුදෙකලා කරනවාද නැද්ද යන්න තීරණයක් ගැනීම සඳහා ජාතික කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය වෙත දැනුම් දුන් බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද (22) සවස කුරුණෑගලදී පවත්වන ලද හදිසි සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
අප්‍රේල් මස පළමුවැනිදා සිට මේවන තෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නව කොරෝනා ආසාදිතයින් 750 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කුරුණෑගල සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙති.