ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ කෝවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) වැඩකටයුතු නවතා දැමූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
එම මධ්‍යස්ථානය විසින් සිදු කළ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා තිබෙන අතර, කෝවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල තුළ මින් ඉදිරියට හරිත කෘෂිකර්මයක් සඳහා වූ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ වැඩකටයුතු සිදු කරගෙන යාමට නියමිතය.
කෝවිඩ් වැළැක්වීමට අදාළ කටයුතු හා පාලනය, නිරෝධායන සහ සියලු සම්බන්ධීකරණය කරන කටයුතු කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් සිදුකරනු ලැබීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මධ්‍යස්ථානය පසුගිය වසරේ මාර්තු 16වැනිදා ආරම්භ වූ අතර, වසරයි මාස නවයකට ආසන්න කාලයක් මෙය පවත්වාගෙන යනු ලැබිණි.
මෙම මධ්‍යස්ථානයේ කටයුතු නවතා දැමීමත් සමග එම මධ්‍යස්ථානය විසින් කෝවිඩ් රෝගීන්ගේ කටයුතු වෙනුවෙන් පවත්වාගෙන ගිය 1906 ක්ෂණික ඇමතුම් අංකය සහ 1904 කෙටි පණිවුඩ සේවාව හා ඒකාබද්ධ රෝගී කළමනාකරණ පද්ධතිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා දී ඇත.
කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අත්දැකීම්, ලේඛනයකට සම්පාදනය කර තිබෙන අතර, මෙම ලේඛනයේ අවසාන පිටපත ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්මයක් සඳහා වූ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ආරක්ෂක ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.