කොළඹ වරායෙන් ගිය තවත් නැවක තෙල් කාන්දුවක්
කොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් වන එම්වී ඩෙවොන් හි ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් තහවුරු කර තිබේ. මෙම ඉන්ධන කාන්දුව සිදුව ඇත්තේ නැගෙනහිර මුහුදු කලාපයේදීයි. නෞකාව චෙන්නායි සිට නාවික සැතපුම් 250ක දුරකින් ගමන් කරමින් පවතී.
මෙම බහාලුම් නෞකාව කොළඹ සිට නැගෙනහිර බෙංගාලයේ හල්ඩියා දක්වා ගමන් කරමින් සිටියදී ඉතා අඩු සල්ෆර් ප්‍රතිශතයක් සහිත තෙල් කාන්දුවක් සිදුව තිබේ. ඉන්ධන තෙල් කිලෝග්‍රෑම් 120 ක් (කේඑල්) අඩංගු ඉන්ධන ටැංකියේ දිය යට ඉරිතැලීමකින් මෙම තෙල් කාන්දුව සිදුව තිබේ.
ඉන් තෙල් කිලෝ ලීටර් 10ක් පමණ මුහුදට එක්ව තිබේ. එහි තිබූ ඉන්ධන වෙනත් ටැංකියකට පිරවිමට කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ. නෞකාව අද දිනයේදී හල්ඩියා වරාය වෙත ළඟාවීමට නියමිත බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, එම්වී ඩෙවොන් නෞකාව බාධාවකින් තොරව සිය ගමනාන්තය දක්වා යාත්‍රා කරමින් සිටින බවත් අදාළ තත්ත්වය ගැන සියලු වගකිවයුතු අංශ වෙත දැනුම් දී ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පවසයි.
මේ අතර, කොළඹ සමුද්‍රීය මුදාගැනීමේ හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ද නෞකාවේ තෙල් කාන්දුව පිළිබඳව ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට දැනුම් දී තිබේ.
මෙම නෞකාව බහාලුම් 382 ක සාමාන්‍ය භාණ්ඩ ටොන් 10,795 ක් රැගෙන යන අතර රටවල් කිහිපයක ජාතිකයින් ඇතුලත් කාර්ය මණ්ඩලය 17 දෙනෙකු සිටියි.
මේ අනුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයට යම් කිසි බලපෑමක් සිදුවිය හැකිදැයි යන්න පිළිබඳව අදාළ අංශ අවධානයෙන් පසුවෙයි.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

