කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (23) දින දක්වා කල් තබා තිබේ.
අදාළ පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන පිළිබඳව අධ්‍යයනය කර හෙට දින කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
අදාළ පෙත්සම් අද (22) හතරවන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගත්තේය.
පෙත්සම් විභාගය ආරම්භයේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පනත් කෙටුම්පතේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති දැනුම් දුන්නේය.
ඒ අතර යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම වැනි කරුණු ඇතුළත් වන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.