කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකර තිබියදී මෙහෙයුම් කටයුතු කිරීමේ අවසර ආණ්ඩුව විසින් ලබානොදෙන බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
මෙම වරාය තුළින් දිනකට කන්ටේනර් දෙදහසකට අධික ප්‍රමාණයක් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි බවත්, මෙහිදී එක් කන්ටේනරයක් මෙහෙයුම් කටයුතු කිරීම තුළින් ඇමෙරිකානු ඩොලර් එකසිය පනහකට අධික මුදලක් උපයාගත හැකි බවත් එම සංගමයේ සමකැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා පැවසීය.
මේ නිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස ඉල්ලා මේ සතිය තුළදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් හා පාගමනක් පවත්වන බවද හෙතෙම පවසා සිටියේය.
මේ පිළිබඳ හා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට අද (27දා) දින වරාය වෘත්තීය සමිති විසිතුනක නියෝජිතයන් රැස්වන බවද ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව අද දින කොළඹ හා අවට නගරවල විරෝධතා පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරයක් සිදුකරන බවත්, සිදුකරන විරෝධතාවට හා පාගමනට වරාය සේවකයන්ට අමතරව ආගමික නායකයන්, බහුජන සංවිධාන ඒකාබද්ධ කරගන්නා බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.
පාගමන හා විරෝධතා ව්‍යාපාරය හෙට (28දා) හෝ අනිද්දා (29දා) දින සිදුකිරීමට නියමිත බවත්, ඒ පිළිබඳ අද තීරණය කරන බවත් ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ස්ථිර දොඹකර තුනක්, ජංගම දොඹකර දෙකක් තිබෙන බවත්, මෙහෙයුම් කටයුතු කිරීමට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකර දින දාහතරකට අධික කාලයක් ගත වී තිබුණද, මෙහෙයුම් කටයුතු කිරීමට අදාළව ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ අවසරය මෙතෙක් ලබාදී නොමැති බවත් හෙතෙම පැවසීය.