රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.
රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමට ජනාධිපතිතුමන් කටයුතු කර ඇත්තේ ද ඕනෑම අභියෝගාත්මක තත්වයකදී දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය මඟින් හෝ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යායුතු නිසා බවද සදහන් කළ අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන පද්ධතිය තුළ මේ මොහොතේ ගන්නා තීරණ සෘජුවම අනාගතයේ රටේ සංවර්ධන ක්‍රියාවලියට බලපාන බව ද පෙන්වා දුන්නේය.
2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 17 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවත් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළේය.
නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන් වන පාසල් වාරය සති දෙකකින් දීර්ඝ කළ අතර , ඒ අනුව එළඹෙන 23 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එහිදී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සමග අද දින සාකච්ඡා කළ බව ද ලේකම්වරයා සදහන් කළේය.