ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා ඔහුගේ බිරිඳ ශ්‍රී ලාංකිකයන් වෙත සමුගැනීමේ ලිපියක් යොමුකර තිබේ. බීජිං නුවර සිට ඔහු ශ්‍රී ලාංකිකයන් අමතමින් මෙම ලිපිය යොමුකර තිබේ.
මෙහිදී ඔහු සඳහන් කරන්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ඕනෑම සහායක් ලබාදීමට චීනය සූදානම් බවයි.
තමාගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකාවේ පළාත් 9යේම සංචාරය කිරීමට අවස්ථාව ලැබුණ බවත් සියැසින්ම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැකීමට අවස්ථාව ලැබණ බවත් ඔහු සිය ලිපියෙන් සඳහන් කරයි.
කෙසේ වෙතත් තමාට තිබූ වැඩ අධික කාලසටහන හේතුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමුගැනීම ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබුණ බවත් එයට සමාව ඉල්ලා සිටින බවත් තානාපතිවරයා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ජනතාව චීන ජනතාව වෙත දක්වන අවංක ආදරයෙන් තම හදවත පිරිී පැවැතුණ බවත් කොවිඩ් 19 වෛරසයට එරහෙි සටනේදී ශ්‍රී ලංකාව දීනය දැක්වූ සහාය තමන්ට සෑම අවස්ථාවකම මතකයට එන බවත් ඔහු ප්‍රකාශ කරයි.
එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව හා චීනය එක්ව කරන සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට පිටුවහලක් වෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය චීන ව්‍යාපෘතියක් වුවත් ඒ හරහා රටවල් දෙකටම ප්රතිලාභ ලබෙන බවත් ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකා - චීන සබඳතාවන්හි රන් අවධියක ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම තමන්ට ගෞරවයක් බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් උපරිම සහායක් ලැබුණ බවත් ඔහු පවසයි.
චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ අවුරුදු 70ක සංවත්සරය සැමරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජනපති, අගමැති, කථානායක, විපක්ෂනායක ඇතුළු සියල්ලන්ම දේශපාලනික වෙනස්කම් පසෙක දමා පැමිණි බව ඔහු සිහිපත් කරයි.
ශ්‍රී ලංකා චීන සබඳතා සඳහා දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙන්වා දෙන චෙංග් ෂියුආන් මහතා එම මිත්රත්තවය කවදාවත් නවතාලිය නොහැකි බවත් ඒ පසුපස බිලියන 1.4ක හා මිලියන 21 ජනතාවක් සිටින බවත් ඔහු පවසයි.
ලෝකය පුරා මේ වන විට කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වන අවස්ථාවක චීනයේ කොමිසුනිෂ්ට් පක්ෂයේ හා චීන ජනපති ෂී ජින් පිංගේ නායකත්වය යටතේ එම සටන ජය ගැනීමට හැකි බවත් ඔහු පවසයි. ශ්‍රී ලාංකිකයන් යනු චීනයේ සහෝදර සහෝදරියන් බවත් ඕනෑම අවස්ථාවකදී මෙම වසංගතය පාලනය කිරීමට සහාය ලබාදීමට චීනය සූදානම් බවත් ඔහු පවසයි.
එකිනෙකාට උදව් කර ගැනීම චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ පදනම බවත් යළි දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහු වැඩිදුරටත් සිය ලිපියෙන් සඳහන් කරයි.