මහනුවර මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා හා පුතා කෝවිඩ් වෛරසය ආසාදිතව මියයාමේ සංවේදී සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ගිහාන් වීරසූරිය මහතා පවසයි .
එම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයාට දුන් උපදෙස් අනුව එම පරීක්ෂණ ආරම්භ වී තිබේ .
එකම පවුලේ සාමාජිකයන් තිදෙනා දින විස්සක 20 ක කාලයක් තුළදී කෝවිඩ් වෛරස ආසාදනය වී මියගොස් ඇති අතර එසේ මියගොස් ඇත්තේ සිරිපාල රාජපක්ෂ (72) චන්ද්‍රා රාජපක්ෂ (70) සහ එම යුවළගේ පුත් ධම්මික රාජපක්ෂ (38) යන අයයි .
මේ අතරින් මුලින්ම මියගිය පියාගේ මරණයෙන් පසු ඔහුගේ ළඟම ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් බිරිඳ හා පුතා ලේලිය හා ඇයගේ දරුවන් දෙදෙනා පි. සි. ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත ඔවුන් පෞද්ගලික රෝහලක් මගින් එම වාර්තා ලබාගෙන තිබේ .
එහිදී ඔවුන් සියලුදෙනාට කෝවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බවට හෙළිවී තිබෙන අතර ලේලිය හා දරු දෙදෙනා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමෙන් පසුව සුවය ලබා තිබේ .
මෙම මරණ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් අදාළ වාර්තාව හෙට (30) පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වෙත භාරදෙන බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සේනක තලගල මහතා පැවසීය .
ෂේන් සෙනෙවිරත්න