කොවිඩ් ආසාදිත නමුත් සංකූලතා නොපෙන්වන පිරිස් සඳහා අදාළ පහසුකම් තිබේ නම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් අද (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.
"අපි මහජන නියෝජිතයෝ හැටියට ගම් වලට ගියාම ජනතාව අපෙන් ඉල්ලන දෙයක් තමා නිරෝධායන මධ්‍යස්ථානවල වගේම ගෙවල් වලත් නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන්න කියලා. ජනතාවගේ අදහස වෙලා තියෙන්නේ තැන් තැන්වල ගෙනිච්චට කමක් නැහැ. සංකූලතා නැතිනම්, රෝගාබාධ නැතිනම් නිවසේ නිරෝධායනයට අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගෙන්, කොරෝනා මර්ධන කමිටුවෙන් හා අදාළ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ එම ඉල්ලීම සලකා බලා නිරෝධායන ක්‍රියාවලිය නිවසේ සිට සිදු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.
රජයෙන් නොමිලේ ලබා දෙන නිරෝධායන වැඩපිළිවෙල තිබුනත් සියළු දෙනා එම ස්ථාන වලට ගෙනියන්න බැහැ. හෝටල් වලට ගියාම විශාල මුදලක් අය කරනවා. මේක සමහර අයට දරා ගන්න බැහැ. ඒනිසා සමහර අය මේ සම්බන්ධයෙන් නොසතුට පල කරනවා. අපි මේක තේරුම් ගන්න ඕනේ මහ ජනතාව සමග ඉන්න පුද්ගලයින් හැටියට.”