කොවිඩ්වලට මුවාවී ආණ්ඩුව දැවන්ත ජාතික මංකොල්ලයක සිටින බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති චීන සමාගම් වෙත ලබාදී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඩොලර් බිලියන 4.5 ක ණය ගෙවා ගැනීමට නොහැකිව සිටින ආණ්ඩුව අධිවේගී මාර්ග සඳහා ඩොලර් බිලියන 05 ක් වැය කරමින් සිටින බවත් ඔහු පැවැසීය.
අත්‍යාවශ්‍ය සේවා පසෙකලා මහාමාර්ග සංවර්ධනයටම මුදල් යොදවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන බවත් MCC ගිවිසුම හොර පාරෙන් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.
මාස 03 ක් ගත වීමටත් පෙර ඉතාම සීග්රගාමීව, මේ රටේ සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක අංශ, රටේ ජනතාව ලක්ෂ 220 ක්, ආහාර, ඖෂධ, නැතිව නිවාසවලට වී දුක් විඳිද්දි ඒ සියල්ල පසෙකලා, අධිවේගී මාර්ග පද්ධතිය සඳහා අලුත් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගනිමින් දැවැන්ත මංකොල්ලයක් සිදු කරමින් සිටී. කුරුණෑගල සිට දඹුල්ලට කිලෝමීටර් 60 ක් දිගැති අධිවේගී මාර්ගයක් රු. බිලියන 195 ක් වැයකරමින් ඉදිකිරීම සඳහා රවුටන් නැමති සමාගමකින් ණයක් ලබාගැනීම සඳහා ආණ්ඩුව පිඹුරුපත් සකස් කර ඇත.
මෙම ඉදිකිරීම සිදුකරන කොන්ත්‍රාත්කරුවන් කව්රුන් ද යන්න පැහැදිළි නොමැති අතර මෙය මේ අවස්ථාවේ රටේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ද යන්න ප්රශ්නයකි.
කහතුඩුවේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 52 ක් ඉදිකිරීම සඳහා ආසන්නයෙන් ඩොලර් බිලියන 02 කට ආසන්න පිරිවැයක් (රුපියල් බිලියන 380 කට වැඩි මුදලක්) දරමින් චීනයේ CTIC සමාගමට මාර්ග කොන්ත්‍රාත්තුවක් ලබාදීමට කටයුතු සකස් කර තිබේ. රුපියල් බිලියන 195 කට ආසන්න මුදලකට මහනුවර අධිවේගී මාර්ගයේ කීලෝමීටර් 32 ක් තැනීම සඳහා ‘කැතික්’ නැමති චීන සමාගමට පැවරීමට කටයුතු කර ඇත.
මේ මාර්ගය තැනීම සඳහා පසුගිය රජය සමයේ ජපානයෙන් ණය ආධාරයක් ලැබුණ අතර මාර්තය ඉදිකිරීම සඳහා ජපන් සමාගම් කිහියපක් තෝරාගෙන තිබුණි. ඒ සියල්ල අවලංගු කර චීන සමාගමකට මෙම මාර්ග කොන්ත්‍රාත්තුව ලබාදීමට වත්මන් ආණ්ඩුව හොර රහසේම කටයුතු කර ඇත.
පෑලියගොඩ - අතුරුගිරිය මාර්ගය, අලුතෙන් ඉදිකෙරන කැලණි පාලමත්, ඒ වගේම බත්තරමුල්ල නව නගරයත් සමඟ අතුරුගිරිය අධිවේගී මාර්ග පද්ධතිය හමුවන ස්ථානය දක්වා දිවෙන කිලෝමීටර් 17.5 වන මාර්ගය ඉදිකිරීම සඳහා CGC නම් චීන සමාගමට පවරාදීමට කටයුතු කර තිබේ.
ඒ සඳහා ආසන්නයෙන් ඩොලර් බිලියනයක පමණ මුදලක් ලබාදීමට නියමිතව ඇත. මේ මාර්ගයේ පෑලියගොඩ සිට රාජගිරිය දක්වා කොටස ඉදිකිරීම සඳහා පසුගිය රජය, රජයට බරක් නොවන PPB ක්‍රමයට ලබාදී තිබුණ බව සඳහන් කළ යුතුය. මේ සියල්ලේ එකතුව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 05 ක් පමණ වන අතර රටේ ඉදිරි කාලයේදී ඉඩම් මිළ ඉහළයෑම සහ අනෙකුත් මිළ ගණන් ඉහළ යාම මත මෙය දෙගුණ විය හැකිය.
දැනටමත් ආණ්ඩුව මේ වසරේ ඩොලර් බිලියන 4.5 ක ණයක් ගෙවාගැනීමට නොහැකිව, විදේශ රටවලවල ඇවිදිමින් ‘අපට ණය ගෙවන්න බෑ, වසර තුනක් කල් දෙන්න අපට ණය ගෙවන්න’ යැයි ආයාචනා කර කර සිටිනා කාලයකි.
නමුත් මේ අවස්ථාවේදී ඩොලර් බිලියන 05 ක්, එහෙමත් නැත්තම් රු. ට්‍රිලියනයකට ආසන්න මුදලක් මේ අධිවේගී මාර්ග පද්ධතියට වැය කිරීම පිළිබඳව මේ රටේ ජනතාව ප්‍රශ්න කළ යුතුව ඇත.කොවිඩ් අර්බුදය මුවාවෙන් ජනතාව ගෙවල්වලට ලොක්ඩවුන් කර, ජනතාවගේ කටවල් ලොක්ඩවුන් කර, මේ කරන්න යන ජාතික මංකොල්ලය පිළිබඳව අනාවරණය කළ යුතුයි.
ජනතාවට අද තියෙන ප්‍රධාන ප්රශ්නය මේ දැවැන්ත අධිවේගී මාර්ග කොන්ත්‍රාත්තු ද ?
අධිවේගී මාර්ග රටේ දියුණුවට අවශ්‍යයි. නමුත් මෙය ද එයට අවස්ථාව ? ණය බර ගෙවාගන්න බැරිව බංකොලොත්භාවයේ කඩඉමට පැමිණිලා, විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ලංකාවට ණය ගෙවීමට හැකියාවක් නෑ කියන මොහොතක, මෙවැනි අරමුදල් වියදම් කිරීම යුක්ති සහගත ද ?”