කොළොන්නාව ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු බෙදාහැරි මත්කුඩු ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (23දා) නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන් මෙලෙස දඬුවම් නියම වූයේ, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි අසන්ත ප්‍රනාන්දු (අවු.33) නමැත්තෙකුටය.
2013 අප්‍රේල් මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළොන්නාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 9.64ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂක ගයන්ත මහතා ඇතුළු නිලධාරීන් විසින් කොළොන්නාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම විත්තිකරු පරීක්ෂාවට ලක්කර ඇති බවත්, ඒ අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 50ක් අඩංගු පාර්සලය විත්තිකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවත් හෙළි විය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් පරීක්ෂාවට ලක්කළ රජයේ රසපරීක්ෂවරයා එහි ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 9.64ක් ඇති බව දැනුම් දී තිබූ අතර, මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.