ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බොහෝ මගී ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දැමුවද, කුලී රථ හිමි සමාගම් ගාස්තු පහළ දමමින් සිටින බව සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය සඳහන් කරයි.
අන්තර්ජාලය හරහා සහ දුරකථන මගින් වෙන් කරවාගැනීමට පහසුකම් ඇති මෙම සමාගම් යටතේ වෑන් සහමෝටර් රථ ලක්ෂයකට අධික ප්‍රමාණයක් සේවය කරන බවද එම සංගමයේ ලේකම් නිමේෂ සම්පත් මහතා සඳහන් කළේය.
මේ නිසා රජය මැදිහත් වී ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව සංශෝධනය වන ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලා අද (22දා) කොළඹ නගරයේදී විරෝධතා රථ පෙළපාළියක් සහ විරෝධතා රැලියක් පවත්වන බවද ඔහු පවසා සිටියේය.
මෙම ප්‍රතිපත්තිය සකස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට පසුගිය 11 වැනිදා සංදේශ භාරදී තිබෙන බවද ලේකම්වරයා කියා සිටියේය.
2011 වසර වනවිට මෙම සේවාවලින් කිලෝමීටරයකට රුපියල් හතළිස් පහක මුදලක් අය කරගත් බවත්, එම මුදලින් හතරෙන් තුනක් කුලී රථ හිමිකරුවන්ට ලබාදුන් බවත් ඒ මහතා සඳහන් කළේය.
එහෙත් මේ වනවිට කිලෝමීටරයකට අය කරන්නේ රුපියල් හතළිහත් - රුපියල් 38 ත් අතර මුදලක් බවත්, එම මුදලින්ද කුලී රථ හිමිකරුවන්ට ලබාදෙන්නේහතරෙන් තුනක් පමණක් බවත් හෙතෙම කියා සිටියේය.
ඉන්ධන මිල හා අමතර කොටස් මිල ඉහළ යෑම නිසා බොහෝ වාහන හිමියන් පාඩු ලබමින් මෙම සේවා කටයුතු සිදු කරගෙන යන බවත්, මෙය ව්‍යාපාර කටයුත්තක් නිසා ඉන් ඉවත් විය නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවත් සම්පත් මහතා සඳහන් කළේය.