විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් බලය වෙනුවෙන් සිංහල හා දමිළ ජනතාව රවටමින් තිබෙන බවත් මැතිවරණ කාලයේදී ජාතිවාදය අවුස්සන බවත් ජතික ජනබලවේගයේ මහනුවර කණ්ඩායම් නායක කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
මහනුවර ප්‍රදේශයේ පැවැති පාක්ෂික හමුවකදී ඒ මහතා එසේ කීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා මෙසේද කීය.
“කරුණා අම්මාන් කළ ප්‍රකාශය මමත් දැක්කා. ජාතික ලැයිස්තුවෙන් එන්න කියල කිව්ව කියලත් ඔහු කියල තියෙනවා.නමුත් ඔහු කියනවා ජනතාවත් එක්ක ඉඳලා ඡන්දය ඉල්ලලා දිනල යන්න මම ආවේ කියලා.
ඒ නිසා ඔහු වෙනම ඡන්ද ව්‍යාපාරයක් කර ගෙන යනවා.එහෙම වෙන කොට ඔහු වීරයා වගේ එහේ පෙනී ඉන්නවා. ඔහු කියනවා මම දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. හමුදාව මරන්න කටයතු කළා. අතන දෙදාහක් මැරුවා තව තැනක තුන් දාහක් මැරුවා. අලිමංකඩදී මෙහෙම වුණා. කිලිනොච්චියේදී මෙහෙම වුණා කියලා දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගන්න ආරක්ෂක අංශවලට විරුද්ධව එයා වීරයා වගේ එහේ කතා කරනවා.
මේ අයට දේශපාලන බලය ඕන නිසා මෙහේ සිංහල අයත් රවට්ටනවා එහේ දෙමළ අයත් රවට්ටනවා. සිංහල දෙමළ මුස්ලිම් පදනම මත මේ දේශපාලනය කිරීමේ වැඩේ දැන් නවත්වන්න ඕන වෙලා තියෙනවා. සිංහල අය ළඟට ගිහින් දෙමළ මුස්ලිම් අයට විරුද්ධව එක එක දේවල් කියලා ඡන්දය හොයනවා. ඊළඟට දෙමළ අය ළඟට ගිහින් සිංහල සහ මුස්ලිම් අයටයි එක එක දේවල් කියලා ඡන්ද හොයනවා.
මුස්ලම් අය ළඟට ගිහින් සිංහල අයටයි දෙමළ අයටයි එක එක දේවල් කියලා ඡන්ද හොයනවා. මේක ඡන්ද කාලයෙදී ජාති වාදය ඇවිස්සෙන්නත් හේතු වෙනවා. රටගිනි ගන්නත් හේතු වෙනවා. බල තන්හාවට මේ රටේ ජනතාව ගොදුරු කර ගන්න එක සම්පූර්ණයෙන්ම වැරදියි. අපි ඊට වෙනස්ව සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ සමගිය වෙනුවෙන් කටයුතු කරන ගමන් ඡන්ද ව්‍යාපාරය කර ගෙන යනවා”
මොහොමඩ් ආසික්