ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය (23 වාට්ටුව) අද (09) සිට තාවකාලිකව හුදකලා කිරීමට කටයුතු කර තිබේ.
ඒකකයට පැමිණෙන සහ වෙනත් වාට්ටුවලින් යොමුකරන සියලුම රෝගීන් ඉදිරි දින 14ක කාලයේ දී උණවටුන රෝහල වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.
ආසාදනය වූ කාන්තාව පසුගිය 02 දා වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා කරාපිටිය රෝහලට ඇතුළත්ව ඇති අතර ඉන් පසු 23 වාට්ටුවට මාරුකර තිබිණි. එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් ඇය පීසීආර් පරීක්ෂණයකට යොමුකර ඇත.
එහි ප්‍රතිඵල අද (09) උදෑසන ලැබුණු අතර ඉන් සනාථ වූයේ 53 හැවිරිදි ඇය කොරෝනා ආසාදිත රෝගියකු බවයි. ඒ මොහොතේම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය වසා දැමීමට කටයුතු කළ බව එහි වෛද්‍යවරු පවසති.
වාට්ටුව වසා දමන විට එහි නේවාසික රෝගීන් 10 දෙනකු සිටි බව වෛද්‍යවරු කියති. මේ වනවිට වාට්ටුවේ සිටින කිසිවෙකුට පිටතට යාමට හෝ පිටතින් කිසිවෙකුට ඇතුළට පැමිණීමට අවසරයක් නොමැති අතර මානසික ආබාධ සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් මෙහි සිටින බැවින් ඔවුන්ට වාට්ටුවේම දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට කටයුතු යොදා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකකය බාර මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා මෙසේ කීවේය,
“ වාට්ටුවට මානසික ආබාධ ඇති අය වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයත් ඇතුල් කරන නිසා ඕනෑම අයකු ආසාදිතයකු විය හැකියැයි සැකයක් තියාගෙන ආරක්ෂිතව වැඩ කළා. රෝගීන්ගේ සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයගේ විස්තර සොයාගෙන පුංචි හෝ සැකයක් තිබුණා නම් ඒ අය පීසීආර් පරීක්ෂණවලට යොමු කළා. මේ කාන්තාවත් වකුගඩු ආබාධයකින් පෙළෙන අතරම අපේ වාට්ටුවට යොමුකර තිබුණා. ඇයට ශ්වසන ආබාධයක් තිබූ නිසා පීසීආර් පරික්ෂණයට යොමු කළා. ඒ වගේම වාට්ටුවේ වෛද්‍යවරුන්ට හා හෙදියන්ට ඒ ඒ රෝගීන් වෙන වෙනම බෙදා දීලා සියලු රෝගීන් සමග කටයුතු කිරීම වළැක්වූවා. එවැනි වැඩපිළිවෙලක් කරපු නිසා මෙම ආසාදිත රෝගියා සමග සම්බන්ධ වි තිබුනේ ඉතා සුළු පිරිසක් පමණයි.”
සාරංගිකා ලොකුකරවිට