දකුණු කොරියාවේ පෞද්ගලික අංශයේ රැකියා සඳහා ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ගිවිසුම් අත්සන් කර වීසා ද ලබා ගුවන් ටිකට්පත් ලැබී ඇති ශ්‍රී ලාංකිකයන් පිරිසක් දකුණු කොරියාව බලා යමාට ඉඩ ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරයි.
කොරියන් භාෂා විභාගයට ඉදිරිපත්ව ඉන් සමත්ව කොරියාවේ රැකියාවලට යාමට පෙර ලබාදෙන සේවා පුහුණුවද නිමකර, ගුවන් ටිකට්පත්, වීසා ලබා එරට ව්‍යපාරිකයන් සමග සේවා ගිවිසුම් වලට අත්සන් කර මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක් පමණ බව පවසන එම පිරිස තවත් ප්‍රමාද වුවහොත් තමනට ලැබුණ සේවා ගිවිසුම් අවලංගුවේ යැයි බියෙන් පසුවෙයි.
කොරියා ලංකා සහෝදර එකමුතුවෙ ලංකාවේ සිටින රැකියා අපේක්ෂිකයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු වන නිවන්ක විජේදාස මහතා පැවසුවේ මේ අකාරයට රැකියා ගිවිසුම් අත්සන් කළ 375 දෙනෙක් පමණ ලංකාවේ සිටින බවයි.
“අපි 2018දී කොරියන් විභාගය ලිව්වා. 2019දී අන්තර්ජාලය හරහා ලියා පදිංචි වුණා. අපිට එරටදී කටයුතු කළයුතු අකාරය සම්බන්ධ අනිවාර්ය පුහුණුව ලැබුවා. මේ අවුරුද්දේ පෙබරවාරි 07දා අපි දකුණු කොරියාවේ ව්‍යපාරික සමාගම් සමග රැකියා ගිවිසුම් අත්සන් කළා. ඒ අවුරුදු දෙකක කාලයකට. ඊට පස්සේ අපිට පෙබරවාරි 18දා වීසා ලැබුණා. අපි මේ පුහුණු වලට, වෛද්‍ය පරීක්ෂණ වලට, වීසා වලට, ගුවන් ටිකට්පත් වලට කොරියාවේ රැකියා ලියා පදිංචිය ආදියට ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ගෙවලා තියනවා.
මේ ආකාරයට කොරියාවේ රැකියා ගිවිසුම් අත්සන් කළ අය අතර මේ රට් පුද්ගලික අංශවල මාසික පඩියට, දෛනික පඩිවලට, කොන්ත්‍රාත් මත සේවය කළ අය. කොරියාවේ රැකියා ගිවිසුම් අත්සන් කළට පස්සේ ලංකාවේ කරපු රස්සා වලින් අපි ඉවත් වුණා. කොරියාවේ යන්න අවශ්‍ය මූලික වියම්වලට සමහරු සල්ලි හොයාගත්තේ පොලියට. සමහරු ඉඩකඩම් දේපල උගස් කරලා හොයාගත්තා. ඒ ආකාරයට තමයි අපි මූලික ගෙවීම්වලට සල්ලි හොයාගත්තේ.’
පෙබරවාරි මාසේ රැකියා ගිවිසුම් අත්සන් කළාට පස්සේ මාර්තු මාසේ 13දා ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපිට අවසාන දැනුවත් කිරිම කළා. අපිට කොරියාවේ යන්න තිබුණේ මාර්තු 17දා. තුන්සිය හැත්තෑපස් දෙනෙකුගෙන් පළමු කණ්ඩායම තමයි එදා ට යන්න නියමිත වෙලා තිබුණේ. නමුත් එදා සවස දැැනුම් දුන්නා කොරියා ගමන පමා වෙනවා කියලා. ඊට හේතුව වුණේ කොරෝනා වසංගත තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ගමන් සීමාකිරීමයි.
නමුත් අපි රැකියා ගිවිසුම් අත්සන් කරලා දැන් මාස තුනක් වෙන්න එනවා. ඒ ව්‍යාපාරිකයෝ අපි එනකං තවම බලාගෙන ඉන්නවා. අපි ඉක්මනින් නොගියොත් අපිට ඒ රටේ රැකියා අස්ථා අහිමි වෙනවා. එහෙම වුණොත් අපි ලංකාවේ කළ රස්සාත් නෑ. පොලියට ගත්ත සල්ලි ගෙවන්න ක්‍රමයකුත් නෑ. උකස් තියපු දේපල බේරාගන්න විදියකුත් නෑ. අපි රස්සාවලට ගියොත් ලංකාවට ලොකු විදේශ විනිමයක් ලැබෙනවා. අපි ඉල්ලන්නේ අපිට යන්න අවස්ථාව දෙන්න. ඒ රට අපි බාරගන්න ලෑස්තියි කියලයි.’ නිවන්ක විජේදාස මහතා පැවසුවේය.
.