ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15ක් දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඊයේ (17) රෝගියකු අසල සිටි ඔහුගේ බිරිඳ ආසාදිත බව තහවුරුවීමෙන් පසු වාට්ටුවේ නේවාසිකව සිටින රෝගීන්ට හා ඔවුන්ගේ උපස්ථායකයන් සඳහා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ මගින් මොවුන් ආසාදිත බව සොයාගෙන තිබේ.
ඊයේ රාත්‍රියේම සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයන් 04 දෙනකු හඳුනාගත් අතර තවත් පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන ලදී. එම පරීක්ෂණ වල ප්‍රථිපල අද (18) උදෑසන ලැබී තිබුණු අතර එමගින් තවත් ආසාදිතයන් 10 දෙනකු තහවුරුවී තිබේ.
මේ අනුව 56 වාට්ටුවෙන් අද (18) දහවල් වනවිට ආසාදිතයන් 15 දෙනකු වාර්තාවී තිබිණි. ඔවුන්ගෙන් 13දෙනෙක් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් වන අතර දෙදෙනෙක් රෝගීන් ලඟ සාත්තුවට නැවතී සිටි අය වෙති.
මේ පිළිබඳ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ නිෂානි උබේසේකර මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ එම වාට්ටුවෙන් පිටතට කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා අවශ්‍ය සෑම පියවරක් ම ගෙන ඇති බවයි. මේ වනවිට වාට්ටුවට කිසිවෙකුට ඇතුළුවීමට හා පිටවීමට ඉඩ නොදෙන බවත් වාට්ටුවේ සිටින සියලුම දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් ඇය කියා සිටියාය.
සිරංගිකා ලොකුකරවිට