හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රැපිඩ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍යවරුන්ටම සිදුකිරිමට වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය අසංක ජයවික්‍රම මහතා පවසයි.
හෙද හෙදියන් විසින් රැපිඩ් හා ඇන්ටිජන් පරික්ෂණ කිරිමේ කටයුතු වලින් ඉවත්වීම නිසා දැනට මාස කිහිපයක සිට මෙම කටයුතු වෛද්‍යවරුන්ට කිරිමට සිදුවී ඇති බවද ඒ මහතා පවසයි.
තත්වය නිසා වෛද්‍යවරුන්ට අසාධ්‍ය රෝගියකු සඳහා ප්‍රතිකාර කිරිමට යොදගත හැකි කාලය හා මානව සම්පත අපතේ යන බවද වෛද්‍ය අසංක ජයවික්‍රම මහතා පවසයි. දිනකට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ හා පී.සී.ආර්. පරික්ෂණ සඳහා වෛද්‍යවරුන් 10 දෙනෙකු පමණ යෙදවිය යුතු බවත් මෙම තත්ත්වය නිසා රෝගි සත්කාරක සේවා කටයුතු සඳහා යෙදවිය හැකි මානව සම්පත අපතේ යන බවද හෙතෙම පවසයි.
“රැපිඩ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරික්ෂණ හෙද හෙදියන්ගේ රාජකාරි ලැයිස්තුවට අයිති දෙයක්. වෘත්තිය ක්‍රියාමාර්ගයක් නිසා ඔවුන් සිදුකරන්නේ නැහැ. දිනකට කරාපිටිය රෝහලේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 300ක් හා පී.සී.ආර්. පරික්ෂණ 75ක් පමණ සිදුකරනවා.
රෝගින්ගෙන් රැපිඩ් ඇන්ටිජන් හා පි.සි.ආර් පරික්ෂණ සදහා සාම්පල් ලබාගැනිම ලේබල් කිරිම පවා සිදුකිරිමට වෙලා තියෙන්නේ වෛද්‍යවරුන්ට. මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා සඳහා වෛද්‍යවරුන් යොදාගැනීමටත් අපහසුවෙලා තියෙනවා. දැනට කරාපිටිය රෝහලේ වෛද්‍යවරු 08 දෙනෙකු පමණ කොවිඩ් වෛරසය ආසාදනය වෙලා තියෙනවා.එක් වෛද්‍යවරයකු අසාධ්‍ය තත්වයෙන් ප්‍රථිකාර ලබනවා. දිනපතා රෝහල් කාර්යමණ්ඩලයේ තුන් හතර දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වෙනවා.
කරාපිටිය රෝහල කොවිඩ් රෝගින්ගෙන් පිරියමින් තියෙනවා. තව සතියක් පමණ යනවිට රෝහලේ ධාරිතාවයට මෙම තත්වය දරාගැනීමට නොහැකි වෙනවා. මේ නිසා ජනතාව ප්‍රවේශම්විය යුතුයි. කොවිඩ් රොගින් සඳහා වෙන්කරන ලද වාට්ටු රෝගින්ගෙන් පිරිගොස් ඇති නිසා ඔක්සිජන් මත යැපෙන රෝගින් පවා සාමන්‍ය වාට්ටුවලට යොමුකිරිමට සිදුවි තියෙනවා. දැනටත් කරාපිටිය රෝහලේ සියලුම වෛද්‍යවරුන් මාරුවෙන් මාරුවට කොවිඩ් වාට්ටුවල රාජකාරි සේවා මුරයන්හි නියලෙනවා.”
චන්දන සමරවික්‍රම / රවින්ද්‍ර ශ්‍රී ලාල්