කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් අද (05) වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව වාට්ටුව බාර විශේෂඥ ළමා රෝග වෛද්‍ය උපෙක්ෂා ලියනගේ මහත්මිය පවසයි.
නේවාසිකව සිටින දරුවාගේ සාත්තුවට පැමිණ සිටිය දී සෙම් ගෙඩි ඇති බව පැවසීම හේතුවෙන් ඊයේ (04) මෙම කාන්තාව පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර මවත් දරුවාත් වාට්ටුවේ වෙනම ස්ථානයක රඳවා තබා තිබිණි. අද (05) ලැබුණු වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ මව කොරෝනා ආසාදිත බවයි.මෙම කාන්තාව ගාල්ල, ගිංතොට පදිංචි අයෙකි.
මේ පිළිබඳ විමසූ විට විශේෂඥ වෛද්‍ය උපේක්ෂා ලියනගේ මහත්මිය කියා සිටියේ එම මව මීට පෙර කොරෝනා ආසාදනය වී සුවය ලැබූ අයකු ද විය හැකි බවයි. කෙසේ වෙතත් මව, දරුවා සහ දරුවාගේ මිත්තණිය මේ වනවිට කොරෝනා සැක රෝගීන් ඇතුළත්කරන 36 වාට්ටුවට යොමුකර සිටින අතර දරුවා සහ මිත්තණියගෙන් ද පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගෙන ඇත.
වෛද්‍ය ලියනගේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ ළමා ඒකකයට පිටතින් පැමිණීම සහ පිටවීම වළක්වා වාට්ටුව තාවකාලිකව වසා දමා ඇති බවයි. මෙම මව සමඟ වාට්ටුවේ කාර්ය මණ්ඩලය ආශ්රිත වූ ආකාරය පිළිබඳ කරන ලද අවදානම් තක්සේරුවේ දී වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය අවදානම් නොවන බව ද තහවුරු වී තිබේ.
ආසාදිත මවගේ අනෙකුත් පරීක්ෂණ සහ දරුවාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය. වාට්ටු අංක 02හි සාමාන්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට, අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද වෛද්‍යවරු කියති.
කරාපිටිය රෝහලේ ළමා වාට්ටු 03ක් ඇති අතර අනික් වාට්ටු දෙකෙහි රෝගී සත්කාරක සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද වෛද්‍යවරු පවසති.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට